උරුමය ඔප්පු බෙදා දීම ගොවියාට කළ ලොකුම විනාශයයි…!

February 7, 2024 at 6:04 am | by emanisa.lk

උරුමය ඔප්පු බෙදීම ගොවි ජනතාවට කළ ලොකුම විනාශය බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසූවේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී පිවිතුරු හෙළ උරුමය නායකයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

පෙබරවාරි 5 දා ආණ්ඩුව විසින් දැවැන්ත උත්සවයක් පවත්වලා බොහොම උජාරුවෙන් බලපත්‍ර ඉඩම්ලාභින්ට සින්නක්කර ඔප්පු ලබා දුන්නා. ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් නොකළ දෙයක් අපි කළා කියලා ලොකු කයිවාරුවකුත් ගැහුව්වා.

ඇත්තෙන්ම ආණ්ඩුව කලේ ගොවි ජනතාවට කළ හැකි ලොකුම විනාශයයි. ගොවි ජනතාව දුර දිග නොසිතා බොහොම කැමැත්තෙන් මේ ඔප්පු භාර ගත්තා. තමන්ගේ ජනප්‍රියතාවයට හානියක් වේවි කියන බයට කිසිම දේශපාලකයෙක් මේක විවේචනය කරන්නේ නෑ. මේක විවේචනය කරන ලංකාවේ ඉන්න එකම මන්ත්‍රිවරයා මම වෙන්න පුළුවන්. ඊ ළඟ ඡන්දය ඉලක්ක කර ගෙන දේශපාලනය කරන දේශපාලකයින් වෙනුවට ඊ ළඟ පරම්පරාව ඉලක්ක කරගෙන දේශපාලනය කරන දේශපාලකයින් බිහි වන තුරු මේ රට කවදාවත් හදන්න බෑ.

ගොවි ජනපද ව්‍යාපාරය ආරම්භ කරපු ඩී එස් සේනානායක අගමැතිතුමා ඒකට නායකත්වය දුන්නු සී පී ද සිල්වා ඇමතිතුමා ඉඩම් වලට ඔප්පු නොදී බලපත්‍ර විතරක් දීලා නැවතුනේ ඇයි? ගාමිණි දිසානායක ඇමතිතුමා ස්වර්ණභූමි දි මු ජයරත්න අගමැතිතුමාගේ ජයභූමි වගේ වැඩසටහන් වල දී සින්නක්කර ඔප්පු නොදුන්නේ ඇයි? ඒක ගොවි ජනතාවට තාවකාලික සතුටක් වුණත් දිගුකාලින විනාශයක් නිසා.

ගොවි ජනතාවට දිනපතා වියදම් තිබුණාට මාස් පතා වියදම් තිබුණාට ආදායම් එන්නේ අවුරුද්දකට දෙපාරක් නැති නම් තුන් පාරක් අස්වැනු නෙලන අවස්ථාවේ දී විතරයි. ඒ නිසා අස්වැනු නෙලුවාම පියවීමේ බලාපොරොත්තුවෙන් ගොවි ජනතාව ණයට තමයි තමන්ට අවශ්‍ය භාණ්ඩ මිල දී ගන්නේ. මේ අයට ඇපයට තියන්න කිසිවක් නැති නිසා අනාගත අස්වැන්න තමයි උකසට තියන්නේ. නමුත් වැස්සෙන් නියඟයෙන් කෘමින්ගෙන් අස්වැනු හානි වුණොත් ණය ගෙවා ගන්න බැරි වෙනවා. එතකොට බොහෝ දෙනෙක් ඊ ලඟ අස්වැන්න කැපුවාම ගෙවන්න පොරොන්දු වෙනවා.

සමහර ගොවියෝ ණයහිමියන්ගේ පීඩනය දරා ගන්න බැරිව වස බීලා මැරෙනවා. ඒත් පවුලේ අයට පදිංචි වෙලා ඉන්න වගා කර ගන්න ඉඩම ඉතිරි වෙනවා. සින්නක්කර ඔප්පු දුන්නාම සිද්ධ වෙන්නේ ගොවියා ඉඩම උකසට තියලා ණය ගන්නවා. අස්වැනු හානි වෙලා ණය ගෙවා ගන්න බැරි වුණාම ඉඩම පොලී මුදලාලිට සින්න වෙනවා. අර ගොවි පවුලට එක පැත්තකින් ඉන්න තැනක් නෑ. අනිත් පැත්තෙන් වගා කරන්න ඉඩමක් නෑ.

මේ අය දස දහස් ගණනින් නගර වලට ඇවිත් පැල්පත් අටවා ගන්නවා. එහි ප්‍රතිඵලයක් විධියට නාගරීකරණය වැඩි වෙනවා. විරැකියාව වැඩි වෙනවා. පාතාලය වර්ධනය වෙනවා. මේක ආණ්ඩුව නොදන්නවා නොවේ. ඊ ළඟ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ගොවි ජනතාවට දුන්නු ඡන්ද ගුණ්ඩුවක් මේක. ආණ්ඩුවට අවංකවම ගොවි ජනතාවට ඉඩම් අයිතිය දෙන්න ඕනි නම් ඊට කලින් ආණ්ඩුව වගා රක්ෂණයක් හඳුන්වා දීලා ගොවි ජනතාව මේ දුෂ්ඨ ණය චක්‍රයෙන් ගලවා ගන්න ඕනි.

– Media unit

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස