ඉරණතිව් කොරෝනා සොහොන් භූමියට ඇමැති දේවානන්දත් එරෙහි වෙයි…!

March 4, 2021 at 7:01 am | by emanisa.lk

කොරෝනා රෝගයෙන් මියයන පුද්ගලයින්ගේ මළ සිරුරු භූමදානය සඳහා කිළිනොච්චියේ ඉරණතීව් දූපත තෝරා ගැනීම සම්බන්ධයෙන් ධීවර ඇමැති ඩග්ලස් දේවානන්ද ද මීට සිය අකැමැත්ත පළ කර තිබේ.

මෙයට පෙර දෙමළ ජාතික සන්ධානයේ විරෝධය ඒ සඳහා පළ වී තිබිණි. එම සන්ධානයේ කිළිනොච්චිය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. ශ‍්‍රීධරන් ප‍්‍රකාශ කළේ රජය මෙම තීරණය හකුළා නොගතහොත් ඉරණතීව් දූපතේ ජනතාව සමග එකතු වී රජයේ මෙම තීරණයට එරෙහිව විරෝධය පළ කරන බවයි.

ධීවර ඇමැති ඩග්ලස් දේවානන්ද මහතා පවසන්නේ කොරෝනා රෝගයෙන් මියගිය අයගේ මළ සිරුරු භූමදානය කිරීම සඳහා ඉරණතීව් දූපත කිසිසේත්ම සුදුසු ස්ථානයක් නොවන බවයි.

මේ තීරණය හා ක‍්‍රියාව නිසා මේ රටේ සුළු ජාතිය හා රජය අතර ඇතිව තිබෙන ව්‍යාකූලතාව තවත් වර්ධනය විය හැකි බැවින් තමන් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා සමග සාකච්ඡා කර යම් විසඳුමකට එළඹෙන බව ද ඩග්ලස් දේවානන්දා ඇමැතිවරයා ප‍්‍රකාශ කළේය.

කිලිනොච්චියේ ඉරණතීව් ප‍්‍රදේශයේ දී පසුගිය මාසයේ මුහුදු කූඩැල්ලන් ඇතුළු මුහුදු ආහාර අපනයන ගම්මානයක් පිහිටුවා වසරකට ඇමරිකානු ඩොලර් 25000කට වඩා වැඩි ආදායමක් ලබා ගැනීමට සැලසුම් කර විදේශීය සමාගම් සමග එය ක‍්‍රියාවට නංවා තිබිය දී කොරෝනා මළ සිරුරු ඉරණතීව් දූපතේ භූමදානය කිරීම නොගැලපෙන ක‍්‍රියාවක් බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

කිළිනොච්චියේ සිට මුහුදු සැතපුම් 9ක දුරින් මන්නාරම් බොක්කට අයත්ව පිහිටි ඉරණතීව් දූපතේ මේ වන විට පවුල් 165ක් පමණ නැවත පදිංචිව සිටින හෙයින් ඉරණතිව් දූපතේ කොරෝනා සිරුරු භූමදානය කිරීම මගින් දූපතේ ජලය අඩුවැඩි වීමේදී වෛරසය ජලයට මුසු වී ජනතාවට කොරෝනා වැළඳීමේ අවදානමක් පවතින බව ඉරණතීව් දූපතේ වැසියෝ කියා සිටිති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *