ඩීසල් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් ඇතුළු ඉන්ධන වර්ග තුනක මිල ඊයේ (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.
ඒ අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 27 කින්, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 10 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 2 කින් අඩු කර තිබේ.
එම මිල පහළ දැමීමත් සමඟ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 329 ක්, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 346 ක් සහ භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 247 ක් බවට පත්වන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කරයි.
ඔක්ටේන් 95 පෙට්‍රල් සහ ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 3 බැගින් ඉහළ දැමූ බවත් එම මිල වැඩි වීමත් සමඟ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 426 ක් සහ ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 434 ක් දක්වා ඉහළ ගිය බවත් ඛනිජ තෙල් සංස්ථාව වැඩි දුරටත් සඳහන් කරයි.
මේ අතර මෙරට ඉන්ධන අළෙවි කරන විදේශ සමාගම් දෙක වන සිනෝපෙක් සහ අයි.ඕ.සී. සමාගම් ද ලංකා ඛනිජ තෙල් සංස්ථාවට සමගාමීව ඉන්ධන මිල පහත දමන බව නිවේදනය කළේය.