ඉන්දියානු ඛේදවාචකය කළුබෝවිල මැවෙයි….! දෑස් ඉදිරියේ රෝගීන් මැරී වැටේ….!

August 5, 2021 at 10:27 am | by emanisa.lk

කළුබෝවිල රෝහලේ කොවිඩ් ආසාදිතයින් නිසා ඇති වී තිබෙන තදබදය සම්බන්ධයෙන් මාධ්‍යවේදනී තිලක්ෂණි මධුවන්ති විසින් තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබා ඇත.

තම මව කොරෝනා ආසාදනය වී රෝහල්ගත කර ගැනීමට දීර්ඝ පෝලිමක සිටින බවත් එම පෝලිමේ සිටිය දී තම දෑස් ඉදිරිපිට ම දෙදෙනකු මිය ගිය බවත් ඇතැමුන් ක්ලාන්ත වී බිම ඇද වැටෙන බවත් ඇය සඳහන් කරයි.

ඇය තබා ඇති සම්පූර්ණ සටහන මෙසේය.

———-

ඉන්දියාව ගැන මම කියපු නිවුස් දැන් මම ඇස් දෙකෙන් දකිනවා……..

දැන් වෙලාව අලුයම 1යි විනාඩි 20 යි.

මේ කළුබෝවිල රෝහලේ කොවිඩ් වාට්ටුව.

වාට්ටුවේ එක් ඇඳක රෝගීන් ⁣දෙදෙනෙකු හෝ තුන්දෙනෙක්.

ඔවුන් අසාධ්‍ය රෝගීන්.

වාට්ටුවේ බිම ඇඳන් යට තවත් පිරිසක් ඔක්සිජන් ලබා ගනිමින් ජීවිතය බේරගන්න සටන් කරනවා.

අඩි තියා ඇවිදින්න බය හිතෙන තරමටම බිම රෝගීන්.

ඉතිරි සියලු ආසාදිතයින් ( සියය ඉක්මවූ පිරිසක් ) එළිමහනේ බංකු, පුටු මත හෝ ගස් පාමුල.

තවත් පිරිසක් වැලි පොළවේ ඇතිරිල්ලක් හෝ නොමැතිව.

මේ පාන්දරත්, ඇඩ්මිෂන් පෝලිම ගොඩක් දිගයි.

අපහසුවෙන් සොයාගත් පුටුවක් මත අම්මා තබා මා ගල් බැම්මක් උඩට වී ඇයට උපස්ථාන කරනවා.

සීතලේ මදුරුවන් තලමින්, මේ හැමෝම කොරෝනා එක්ක සටන් කරනවා.

මගේ ඇස් ඉදිරිපිටම පැය කිහිපයක් තුළ දෙදෙනෙකු මිය ගියා.

ඇතමුන් ක්ලාන්ත වී ඇද වැටෙනවා.

කාර්ය මණ්ඩලය සීමිතයි.

ඔවුන් දේවකාරිය තරමටම රාජකාරිය ඉටු කරන්නේ වෙහෙස නොබලා.

මගේ අම්මා මේ විදිහට කොරෝනා එක්ක සටන් කරද්දි තාත්තා දින ගණනාවක් ඔක්සිජන් මැෂිමකට ජීවිතය දීලා බලන් ඉන්නවා.

මේ ජීවිතය ඇතුළේ මීට වඩා විඳින්න දුකක් නෑ.

මීට වඩා අසරණකමකුත් නෑ.

හෙට මමත් ආසාදිතයෙකු වෙයි.

මට කියන්න තියෙන්නෙ එකම දෙයයි.

කොරෝනා සුළුවෙන් තකන්න එපා.

පුළුවන් තරම් පරිස්සම් වෙන්න.

පවුලේ හැමෝම පරිස්සම් කරගන්න.

ඉන්දියාව ගැන මම කියපු නිවුස් අද මම මගේ රටේදි ඇස් දෙකෙන් දකිනවා.

පරිස්සම් වෙන්න.. හොඳටම පරිස්සම් වෙන්න….

~ තිලක්ෂණී මධුවන්ති ~

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස