කිසිම රටක් අපේ නැව වරායටවත් ගත්තේ නෑ! ලංකාව නැවට සේවා සපයලා මාවත් බේරගන්නවා කීවාම සුද්දෝ පුදුම වුණා! – අනුර බණ්ඩාර

April 11, 2020 at 5:17 pm | by emanisa.lk

සිය රටවල් මිනිස් ජීවිතවලට කිසිදු වටිනාකමක් ලබා නොදෙන අවස්ථාවක නැවට අතවශ්‍ය සේවා සපයා සිය රට වැසියා ද බේරා ගැනීමට කටයුතු කළ ශ්‍රී ලංකාව ගැන විදේශිකයන් පුදුම වූ බව ඉතාලි නැවක සේවය කර රටට පැමිණි අනුර බණ්ඩාර පවසයි.

‘‘අපේ නැව කිසිම රටක වරායකින් භාර ගත්තේ නැහැ. එවැනි මොහොතක ශ්‍රී ලංකා රජයට නැවේ අත්‍යවශ්‍ය පහසුකම් දෙන්නටත්, මාව බේරාගැනීම සඳහා වේග ප්‍රහාරක යාත්‍රා ඇතුළු යාත්‍රාවලින් නැව ළඟට එද්දීත් මාත් එක්ක හිටපු විදේශිකයෝත් පුදුමයට පත්වුණා. මොකද ඒගොල්ලන්ගේ රටවල් මිනිස් ජීවිත ගණන් ගත්තේ නැතිවුණාට ලංකාවේ මම වෙනුවෙනුත් නාවික හමුදාව කළ මෙහෙය ඒ අයටත් හිතාගන්න බැහැ.

ඇත්තටම මාව මේ විදියට බේරා ගත්තේ නැතිවුණා නම් මටත් ඉතාලියට යන්න වෙනවා. එහෙම ගියා නම් පණපිටින් එන්න වෙයිදැයි විශ්වාස කරන්නත් බැහැ.

මේ නැව ඉතාලියෙන් රටවල් 26 කට ලෝක සවාරියක් යන්න ගමන් ඇරඹුවේ ජනවාරි 5 දා. මාත් එක්ක කාර්ය මණ්ඩලය පමණක් 1038 ක් ගියා. සංචාරකයෝ 2300 ක් ගමන ආරම්භයේ හිටියා. නැවේ තට්ටු දහසයට කැබින් 1259 ක් තිබ්බා. හුඟාක් හිටියේ ඉතාලි, ප්‍රංශ, ජර්මන් ධන කුවේරයන්. එක්කෙනෙක් ටුවර් එකට යුරෝ 400 ක් විතර ගෙව්වා. අපි ඉතාලි, ප්‍රංශ, පෘතුගාල්, බ්‍රසිල් ඇතුළු රටවල් 19 කට ගිහින් නවසීලන්තයට ආවා. එහෙදි අපිට වරායෙන් ඇතුළට එන්න දුන්නේ නැහැ. වරාය ඇතුළේම නැවට වෙලා ඉන්න වුණා. ඒ වෙද්දී කොවිඩ් වසංගතය පැතිරිලා තිබුණා. ඔස්ට්‍රේලියාවට එද්දී තත්ත්වය දරුණු වෙලා කියලා දැනගත්තා. නැවේ කැප්ටන් සංචාරකයන්ට ඔස්ට්‍රේලියාවේ සිඩ්නිවලදී සංචාරය නතර කරන්න වෙන බව දැන්නුවා. කැමැති අයට තම රටවලට යන්න පහසුකම් දෙනවා කියලා කිව්වා. එතැනින් පන්සියයක් විතර සිඩ්නිවල බැස්සා. ඉතිරි අය නැවේම ඉතාලි යනවා කිව්වා. මාත් එක්ක නැවටම හිටියේ ලංකාවේ දෙන්නයි. අනික් කෙනා ලංකාවට යන්න කියලා සිඩ්නිවලින් නැවතුණා. නමුත් පස්සේ එයාට යන්න හම්බ වුණේ නැතිව ඔස්ට්‍රේලියාවේ හිරවුණා කියලා දැනගත්තා.

අපිත් එක්ක සිඩ්නි වරායේ තිබුණු නැව් කිහිපයකම අයට කොවිඩ් බෝවෙලා තිබුණා. සිඩ්නිවලින් පිටත් වුණා. ඊට පස්සේ ඩුබායිවල නැව නතර කරන්න යනවා කියලා පිටත් වුණා. ඩුබායිවලට යන්න යද්දී එන්න එපා කියලා තිබුණා. ඊට පස්සේ කැප්ටන් නැව හරවාගෙන ඔස්ට්‍රේලියා යන්න ගියා. නමුත් ඔස්ට්‍රේලියාවලිනුත් භාරගන්න බැහැ කිව්වා. ඊට පස්සේ නැවේ කැප්ටන් ඔස්ට්‍රේලියා රජයෙන් ඉල්ලීමක් කළා මාසයක් හරි වරායේ නවත්වාගෙන ඉන්න දෙන්න කියලා. කව්රුත් වරායකට ඇතුළු වෙන්න දෙන්නේ නැහැ කියලා අපිටත් දැනගන්න ලැබුණා. වරායක් නැතිව නැව දවස් ගණනක් මුහුදේ තිබ්බා. ඊට පස්සේ අපේ නැවට අත්‍යවශ්‍ය දේවල් ගෙන්න ගන්න අවසර ලැබුණා.

නැවත ඉතාලි බලා යද්දී ලංකාවෙන් පැය තුනකට සැපයුම් ගන්න කොළඹ වරායට යන බව කිව්වා.

මම එවේලාවේ නැවේ කැප්ටන් හම්බවෙලා ලංකාවෙන් බහින්න අවසර ඉල්ලන්න ගියා. නමුත් එයා ඉන්න තැනට යන්න දුන්නේ නැහැ. එච්.ආර්. එකට කියලා ස්ටාෆ් කැප්ටන් ළඟට යන්න ගියත් යන්න දුන්නේ නැහැ. ඉන්දියාවේ සුපවයිසර්ලා මට සමච්චල් කළා ඔයාට කැප්ටන් හම්බවෙන්න ලැබෙන්නේ නැහැ කියලා. තව දවසයි නැව ලංකාවට යන්න තිබුණේ. ලංකාවට යන ආසාව අත්අරින්න වෙයි කියලා හිතුණත් මගේ අයියා කෙනකු මාර්ගයෙන් වීඩියෝ එකක් රෙකෝඩ් කරලා මාව ලංකාවේදී බේරාගන්න කියලා ඉල්ලීමක් කළා. ඒක මීඩියාවලින් එළියට ගියා විතරයි වෙන නැව්වල ඉන්න ලංකාවේ අය පවා මට කතා කළා.

අප්‍රේල් 4 දා හවස 4 ට නැවේ කැප්ටන්ගේ කැබින් එකට එන්න කියලා පණිවුඩයක් ආවා. මට නැවේ කැප්ටන් රෝගේටෝ ලියෝවිටා නමැති ඉතාලි ජාතිකයා හම්බ වුණා. ශ්‍රී ලංකා රජයෙන් ඔයාව ලංකාවෙදි භාරදෙන්න කියලා ඉල්ලීමක් කරලා තිබුණා. ඒ අවසරය මතයි යවන්නේ කියලා මට අවසර දුන්නා.

අපි නැවේ හිටියේ බයෙන්. ලෝකේ අනිත් නැව්වලට රෝගය පැතිරිලා කියලා දැනගත්තම ඔක්කොමලා උණු වතුර බොන්න ගත්තා. ලුණු වතුරින් කට හෝදන්න ගත්තා. මට ලංකාවෙදි බහින්න වෙන එකක් නැහැ කියලා සමච්චල් කරපු අය පුදුම වුණා ලංකාවේ නාවික යාත්‍රා මාව අරන් යන්න එද්දී. නැවේ පැසෙන්ජර්ස්ලා පවා ලංකාව ගැන පුදුම වුණා.

අරුණ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස