ඉදිරි මාස 09 ඇතුළත රටේ සියලු ගංගා පවිත්‍රකර සංරක්ෂණයට පියවර ගන්න….! ජනපතිගෙන් පරිසර අමාත්‍යංශයට නියෝග….

March 23, 2021 at 12:07 am | by emanisa.lk

මෙරට සියලු ම ගංගා වසර අවසානයට පෙර පවිත්‍රකර සංරක්ෂණයට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පරිසර අමාත්‍යාංශයට උපදෙස් දෙයි.

“සුරකිමු ගංගා” වැඩසටහන යටතේ ගංගා පද්ධතිය පවිත්‍ර කිරීමට වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 2300කි. එම මුදල ප්‍රමාණවත් නොවන්නේ නම් වසර අවසන්වීමට පෙර ව්‍යාපෘතිය නිම කරනු වස් අතිරේක මුදල් සම්පාදනය කරන බව ජනාධිපතිතුමා පැවසීය.

විලාසිතාවක් ලෙස පරිසරය වෙනුවෙන් පෙනී නොසිට හැම කෙනෙක්ම තම වගකීම ඉටුකිරීමට එක්වන්නැයි ජනාධිපතිතුමා සමාජ මාධ්‍යවල පරිසරය ගැන කතා කරන සියලුදෙනාගෙන් ද ඉල්ලා සිටී.

පරිසර විනාශයක් පිළිබඳ නිර්මාණය කොළඹ සිට කෙරෙන සැලසුම්සහගත වැඩසටහනකි. දශකයකට පමණ පෙර කොළඹ සහ තදාසන්න නගර පැවති ආකාරය බොහෝ දෙනෙකුට අද අමතකය. කොළඹ කුණු කඳු ඉවත් කර, ගොඩකර තිබූ පහත් බිම් සේම තෙත් බිම් යළි සංවර්ධනය කර කොළඹ හරිත නගරයක් කළ බව ජනාධිපතිතුමා සිහිපත් කරයි. මේ ප්‍රගතිය සිංගප්පූරුව ඇතුළු ලොව රටවල් රැසක අවධානයට යොමු වු බව රාජපක්ෂ මැතිතුමා පවසයි.

මෙරට ගංගා පද්ධතිය සංරක්ෂණය කිරීමේ “සුරකිමු ගංගා” ජාතික වැඩසටහන ලෝක ජල දිනයට සමගාමීව අද (22) පෙරවරුවේ ඓතිහාසික කතරගම පූජා භූමියේ මැණික් ගඟ අසබඩදී ආරම්භ කරමින් ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේය.

ජනාධිපතිතුමා සමරු ඵලකය නිරාවරණය කරමින් “සුරකිමු ගංගා” ව්‍යාපෘතියේ නිල ආරම්භය සනිටුහන් කළේය.

මැණික් ගඟේ පොලිතීන් සහ ප්ලාස්ටික් රඳවන ස්ථාපනය, කතරගම පූජා භූමියේ පොලිතීන් මල්මාලා වෙනුවට ස්වභාවික මල්මාලා භාවිතය ප්‍රචලිත කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අමුද්‍රව්‍යවලින් නිෂ්පාදිත මල්මාලා හඳුන්වාදීම ද වැඩසටහනේ සමාරම්භයට සමගාමීව සිදු කෙරිණ.

බහුකාර්ය කැබලි කරන යන්ත්‍රය මොණරාගල දිස්ත්‍රික් ලේකම්වරයාට ජනාධිපතිතුමා විසින් නිල වශයෙන් බාර දෙනු ලැබීය.

පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා “සොබාකෙත” සඟරාව සහ “මිහිමඩල” පුවත්පත ජනාධිපතිතුමාට පිළිගැන්වීය.

“සුරකිමු ගංගා වැඩසටහන භූගෝලීය තොරතුරු තාක්ෂණික මාර්ගගත පරිගණක යෙදවුම ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් දස වැදෑරුම් සංකල්පයෙහි අන්තර්ගත තිරසර පරිසර කළමනාකරණය සඳහා සැලසුම් කළ වැඩසටහන් අතුරින් ප්‍රධාන වැඩසටහනක් ලෙස “සුරකිමු ගංගා” ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. පරිසර සංරක්ෂණයේ ප්‍රධාන අංගයක් වන ජලයේ ගුණාත්මකභාවය සහතික කිරීමෙන් ජලසම්පත සුරැකීම අපේක්ෂාවයි. ගංගා සංරක්ෂණය මගින් ජනතාවට පිරිසිදු පානීය ජලය සම්පාදනය කිරීම, පරිසර හා ජෛව සම්පත් ආරක්ෂා කිරීම හා සංචාරක ප්‍රවර්ධනය වැඩසටහනේ සෙසු අරමුණු අතර වෙයි.

ශ්‍රී ලංකාවේ ගංගා 103ක් ආවරණය වන පරිදි “සුරකිමු ගංගා” වැඩසටහන සැලසුම් කර ඇත. මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාල මගින් සති දෙකක කාලයක් තුළ පරිගණක යෙදවුමක් භාවිතයෙන් කරන ලද මුලික සමික්ෂණයේ දී මේ ගංගා 103 ආශ්‍රීත ගැටලු සහිත ස්ථාන 10,410ක් පරික්ෂාවට ලක්කර තිබේ. ගං ඉවුරු ඛාදනය, අනවසරයෙන් ඉඩම් අල්ලා ගැනීම සහ අනවසර ඉදිකිරීම්, වැලි ගොඩ දැමීම, ගෘහස්ථ අප ජලය, මළ අපද්‍රව්‍ය සහ කර්මාන්ත අප ජලය ගංගා වෙත මුදා හැරීම සහ අපජල මඩිති මුදා හැරීම ඉන් ප්‍රධාන වේ.

පරිසර අමාත්‍යාංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව “සුරකිමු ගංගා” වැඩසටහන ක්‍රියාවට නංවයි.

අද උත්සවයට සමගාමීව සෙසු පළාත් අටේ ද “සුරකිමු ගංගා” වැඩසටහන පළාත් ආණ්ඩුකාරවරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.

“පරම්පරාවෙන් පරම්පරාවට අප සමාජය පෝෂණය වූ ශ්‍රී ලංකාවේ ගංගාවන් 103 කින් සමන්විත ගංගා ද්‍රෝණි පද්ධතිය අප ලද වටිනාම දායාදයක්. මධ්‍යම කඳුකරයත්, ඒ ආශ්‍රිත වන ගහණයත් සහිතව ජල පෝෂක ප්‍රදේශ අපේ මේ ලස්සන දිවයින මුළුමනින්ම පාහේ ආවරණය කරනවා” ඒ නිසා බොහෝ රටවල් සමග සැසඳීමේදී අප පාරිසරික මෙන්ම භූ විද්‍යාත්මක වශයෙනුත් ඉතා සුවිශේෂී රටක් බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

අපගේ වායුගෝලය දූෂණය වන්නේ සංවර්ධිත රටවල ක්‍රියාකාරකම් නිසා වුවත්, අවාසනාවකට එහි අහිතකර බලපෑම්වලට වැඩියෙන්ම ගොදුරු වන්නේ සංවර්ධනය වෙමින් පවතින අප වැනි ඝර්ම කලාපීය රටවල් ” බවද ජනාධිපතිතුමා පැවසීය. “අද විශාල වන විනාශයන් සිදු වන බව අපගේ විරුද්ධවාදීන් ලෝකයටම ඒත්තු ගන්වන්න උත්සාහ කරනවා. “ගම සමග පිළිසඳර” වැනි ග්‍රාමීය මට්ටමේ වැඩසටහන්වලට නිරතුරුවම යන මට, අහිංසක ගොවි ජනතාව අත්විඳින කම්කටොළු බොහෝ පැහැදිලිව දක්නට ලැබෙනවා. ඔවුන් ජීවත්වීම සඳහා කරන්නේ ලොකු සටනක්. එවැනි පුද්ගලයන්ට වගා කිරීමට ඉඩමක් දීම විකෘති කර, වන විනාශයට තුඩු දෙන අයුරින් අප ක්‍රියාකරනවා යයි කීම විරුද්ධවාදීන් ගෙන යන අසත්‍ය, අමානුෂික ප්‍රචාරයක් බව සඳහන් කළ ජනාධිපතිතුමා අවුරුදු ගණනකට පෙර කපා හෙලන ලද රූස්ස ගස්වල කඳන් පෙන්වමින්, ඒවා සමාජ ජාලා තුලින් ප්‍රචාරය කරමින් අපේ මේ කෘෂිකාර්මික ප්‍රතිපත්ති නිසා වන විනාශයක් සිදු වන බව හුවා දැක්වීම සැබෑ තත්ත්වය විකෘති කරීමකැයි කියා සිටියේය.

අද ඇරඹුනු “සුරකිමු ගංගා” ජාතික පාරිසරික වැඩසටහන අනාගත පරපුර වෙත අප සියලු දෙනා විසින් දෙනු ලබන මහඟු දායාදයක් බව පැවසූ ජනාධිපතිතුමා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් මෙම කාර්යය සම්බන්ධීකරණය දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් තමා බලාපොරොත්තු වන බව සඳහන් කළේය.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ, පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ යන මහත්වරු ද සමාරම්භක උත්සවය ඇමතූහ.

මහා සංඝරත්නය, ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්, රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පී.බී. හේමන්ත ජයසිංහ යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපතිතුමා කිරිවෙහෙර රජමහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්ද නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක කෙටි පිළිසඳරක ද නිරත විය.

කතරගම අභිනවාරාමාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය කපුගම සරණතිස්ස නායක හිමියන් බැහැදැක උන්වහන්සේගේ ද සුව දුක් විමසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස