දෙවියන් පුදන පොලිතින් මල් මාල තහනම්….! පරිසර හිතකාමී විකල්පත් හඳුන්වා දෙයි….!

March 4, 2021 at 4:15 pm | by emanisa.lk

බෙල්ලන්විල, පිල්ලෑව, කැලණිය, කතරගම, නවගමුව දේවාල වැනි ලංකාව පුරා ඇති විශේෂිත පූජා නගර ආශ්‍රිතව සිදු කෙරෙන පොලිතීන් මල් මාල නිෂ්පාදනය තහනම් කිරිමට පියවර ගන්නා බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ පවසයි.

එම පොලිතීන් මල් මාල භාවිතයෙන් ඉවත් කිරීමේ මුල් පියවර ලෙසත් ඒ සඳහා ආදේශකයක් ලෙස පරිසර හිතකාමී මල් මාලා සහ තෙල් කඩදාසිවලින් නිමවන මල් මාලා හඳුන්වාදීමටත් මාර්තු මස 22 දා සිට පියවර ගනු ලබන බව ඔහු කීවේය.

ඔහු මේ බව පැවසුවේ අද (4) බත්තරමුල්ල පිහිටි සිය කාර්යාලයේ දීය.

බෙල්ලන්විල, කැලණිය, කතරගම,රත්නපුර සමන් දේවාලය වැනි විශේෂිත පූජා භූමි ආශ්‍රිතව මෙන්ම කුඩා දේවාලවලින් දිනපතා ඉවතලන ප්ලෘස්ටික් මල්මාල වාර්ෂිකව විශාල පරිසර හානියකට මග පාදමින් ගංගා ආශ්‍රිත කලාපවල විශාල ගැටලු ඇති කර ඇති බව ද ඔහු පැවසීය.

මධ්‍යම පරිසර අධිකාරියේ, ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ ආරාධනයෙන් ජාතික ශිල්ප සභාව හා එක්ව විශේෂිතව හඳුනාගත් ප්‍රදේශවලහී තෙල් කඩදාසි මල්මාලා සැකසීම පිළිබඳ මල්කරුවන් දැනුම්වත් කිරීමේ වැඩමුළු සංවිධානය කර එකී පුහුණුව ලබා දීමට පියවර ගෙන ඇති බව ද ඔහු පැවසීය.

පරිසර ආරක්ෂණ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාවට නැංවෙන පොලිතීන් භාවිතය අවම කිරීමේ ව්‍යාපෘතියෙහි තවත් එක් අංගයක් ලෙස පොලිතීන් මල්මාලා භාවිතයෙන් ඉවත් කෙරෙන බව ඔහු පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *