ශ්‍රී ලංකාව ඉන්දියාව සමග සිට ගනී..! කැනඩා අගමැතිට ඇමැති සබ්‍රිගෙන් දැඩි ප්‍රහාරයක්…!

September 27, 2023 at 9:34 am | by emanisa.lk

ත්‍රස්තවාදීන්ට කැනඩාව ආරක්ෂිත නවාතැනක් වී ඇති බවත් කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ කිසිදු සාක්ෂියක් නොමැතිව අභූත චෝදනා ඉදිරිපත් කරන බවත් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි ප්‍රකාශ කර ඇතැයි එන්.ඩී. ටිවි පුවත් සේවය වාර්තා කරයි.

අගමැති ජස්ටින් ටෘඩෝ කිසිදු සාක්ෂියක් නොමැතිව අභූත චෝදනා ඉදිරිපත් කරන පුද්ගලයෙකු වීම හේතුවෙන් ඉන්දියාවට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් තමන් පුදුමයට පත් නොවන බව ඉන්දු-කැනඩා රාජ්‍ය තාන්ත්‍රික ගැටුමට ප්‍රතිචාර දක්වමින් අලි සබ්රි පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාවේ ජන සංහාරයක් සිදු වූ බවට එවැනිම අසත්‍ය චෝදනාවක් අගමැති ජස්ටින් ටෘඩෝ කළ බවත් ශ්‍රී ලංකාවේ ජන සංහාරයක් සිදු නොවූ බව සැවොම දන්නා කරුණක් බවත් අමාත්‍යවරයා ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත.

අගමැති ජස්ටින් ටෘඩෝගේ එම ප්‍රකාශය ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර සබඳතාවලටද බලපෑමක් ඇති කළ බවත් එරට විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ජන සංහාරයක් සිදු නොවූ බවට පැහැදිලිවම ප්‍රකාශ කළ බවත් අලි සබ්රි අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

කැනඩා විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ජන සංහාරයක් සිදු නොවූ බව ප්‍රකාශ කරද්දී අගමැති ජස්ටින් ටෘඩෝ කිසිදු සාක්ෂියක් නොමැතිව ජන සංහාරයක් සිදු වූ බවට චෝදනා කිරීම පරස්පර විරෝධී බව අමාත්‍ය සබ්රි ප්‍රකාශ කර ඇත. ස්වෛරී රටක අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම අගමැති ජස්ටින් ටෘඩෝ සිදු නොකළ යුතු බව අමාත්‍ය සබ්රි පෙන්වා දී තිබේ.

අප රට පාලනය කළ යුත්තේ කෙසේදැයි කිසිවෙකු උපදෙස් ලබාදිය යුතු නැති බවත් අනෙක් රටවල අභ්‍යන්තර කටයුතුවලට කැනඩාව මැදිහත් නොවිය යුතු බවත් අලි සබ්රි ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප ශ්‍රී ලංකාවට අන් කිසිවෙකුටත් වඩා ආදරේ බව අමාත්‍ය සබ්රි අවධාරණය කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *