ඇපමත මුදා හැරි පිරිස ගැන බොරු කියලා වෛරය වපුරන අසාද් සාලි වගේ අන්තවාදීන් පාලනය කළ යුතුයි! – ප්‍රසන්න රණතුංග

May 28, 2019 at 11:52 am | by admin

මේ රටේ ඇත්තේ එක නීතියක් බවත් අසාද් සාලිට උවමනා ආකාරයට කටයුතු කිරීමට මේ රටේ ආරක්ෂක අංශ සූදානම් නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග පවසයි. වැඩි දුරටත් ඔහු මෙසේ සඳහන් කළේය.

මිනුවන්ගොඩ පසුගිය 13 වෙනිදා ඇතිවූ සිද්ධියෙන් පසු ඇතිවූ නොසන්සුන්තාවක් සම්බන්ධව අත්අඩංගුවට ගත් හීනටියන ප්‍රදේශයේ පුද්ගලයන් කීප දෙනෙකු ඇප මත මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අසාද් සාලි ආණ්ඩුකාරවරයා චෝදනා කර තිබුණා. ඇප මත මුදා හැරියේ හීනටියන පන්සලේදී අත්අඩංගුවට ගත් පිරිසක්. ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ මිනුවන්ගොඩ සිද්ධිය මත නෙවෙයි. ඊට පහුවදා ඇතිවූ නොසන්සුන්තාවක් සම්බන්ධවයි.

අසාද් සාලි මහතාගේ හැසිරීම බස්නාහිර පළාතේ ආණ්ඩුකාර ධූරයට වටින්නේ නැහැ. ඔහු සිංහල ජනතාව කුපිත කරවන අන්දමේ ප්‍රකාශ සිදු කරනවා. මේ වගේ අය නිසා තමයි අපේ රටේ සිංහල මුස්ලිම් අය ගැන විශ්වාසය පළුදු වෙන්නේ. අසාද් සාලි ආණ්ඩුකාරවරයා කළ ප්‍රකාශ ජාතීන් අතර සමගියට බාධාවක්. ආණ්ඩුව රැකගැනීමේ අරමුණින් මේ වගේ අන්තවාදී ප්‍රකාශ පිළිබඳ ආණ්ඩුව මුණිවත රකින බව පේනවා. රටේ ජාතික සමඟියට එරෙහිව ප්‍රකාශ කරන මෙවැනි පුද්ගලයන් පාලනය කිරීමේ වගකීම ඇත්තේ ජනාධිපතිවරයාටයි. ඔහු මේ පිළිබඳව වහා පියවර ගත යුතුයි.

අසාද් සාලිට ඕනෙ විදියට වැඩ කරන්න අපේ රටේ ආරක්ෂක අංශ සූදානම් නෑ. රටේ තියෙන්නේ එක නීතියයි. සාලිට ඕන විදියට ඒක වෙනස් කරන්න බෑ. එක එක්කෙනාට ඕන විදියට නීති හදවන්න ගිහින් තමයි අද රටට මේ තත්ත්වය උදාවෙලා තියෙන්නේ යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස