ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙළ සාර්ථකයි…! ආනයන වියදම 25%කින් පහළට…!

October 4, 2022 at 7:36 pm | by emanisa.lk

ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රජය ගත් තීන්දු තීරණවල ප්‍රතිඵල ක්‍රමයෙන් ලැබෙමින් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, භාණ්ඩ ආනයන සඳහා පැනවූ සීමා හේතුවෙන් මේ වන විට ආනයන වියදම අඩු වීම ප්‍රතිශතාත්මකව ඉහළ යමින් පවතින බව ය.

2021 වසරේ ජුලි මාසයට සාපේක්ෂව මේ වසරේ ජූලි මාසය වන විට ආයනයන වියදම 25%කින් අඩු කර ගැනීමට හැකි වී ඇති බව පෙන්වා දී තිබේ. ඊට අමතරව අපනයන ද සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතින බව ඔහු සිය නිවේදනයේ සඳහන් කර ඇත.

2021 වසරේ අගෝස්තු මාසයට සාපෙක්ෂව මේ වසරේ අගෝස්තු මාසයේදී අපනයන ආදායම 90%ක වර්ධනයක් පෙන්නුම් කරන බව ත් 2022 අගෝස්තු 31 වන විට රටේ සමස්ත ආදායම රුපියල් බිලියන 1232.4ක් ලෙස සටහන් වී ඇති බව ත් එහි දැක්වේ. එම කාලය තුළ රටේ සමස්ත වියදම ලෙස සටහන් වී ඇත්තේ රුපියල් බිලියන 3539ක් ලෙස ය.

එමෙන් ම, දැනට 8%ක මට්ටමේ පවතින දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රාජ්‍ය ආදායම 11% දක්වා ඉහළ නැංවිය යුතු බව අවධාරණය කරන අමාත්‍යවරයා එහිදී රටේ අඩු ආදායම්ලාභී ජනතාවට කිසිදු අතිරේක පීඩනයක් එල්ල විය යුතු නැති බව ද කියා සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

ඒ අනුව, අවම වශයෙන් රාජ්‍ය ආදායම රුපියල් බිලියන 400කින් පමණ ඉහළ නංවා ගැනීමේ අභියෝගය රට හමුවේ පවතින බව අමාත්‍යවරයා සිය නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *