ආණ්ඩුවට විශ්වාසභංගයක් ගේන්න ඕන, අලුත් ව්‍යවස්ථාව නොගෙනාවොත් මිස තෙල් මිලට නෙමෙයි…..! – ගෙවිඳු….

July 20, 2021 at 5:15 pm | by emanisa.lk

තෙල් මිල වැඩි කිරීම කැබිනට් මණ්ඩලය විසින් ගත් සාමුහික තීන්දුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇති පසුබිමක, බලශක්ති අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිලට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සඳහා කාලය නාස්ති කිරීම පවා අපරාධයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී, යුතුකම සභාපති ගෙවිඳු කුමාරතුංග පවසයි.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයට එකතු වෙමින් ඊයේ (19) ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

තෙල් මිල ප්‍රශ්නය වර්තමාන ආණ්ඩුවට විශ්වාසභංගයක් ගෙන ඒමට කිසිසේත් අදාළ කරගත නොහැකි කාරණයක් බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

ආනයනිත ඛනිජ තෙල් මත තව දුරටත් රඳා නොපවතින දිශානතියට රට යොමු කිරීම ජාතික ආර්ථිකයක් ගොඩ නැඟීමේ දී අත්‍යවශ්‍ය කරුණක් බව ද හෙතෙම සඳහන් කළේ ය. එහි දී අපේ ම වූ තෙල් නිධි, බලශක්ති ප්‍රභවයන් මතු කර ගැනීම, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමු වීම වැදගත් යැයි ද ගෙවිඳු කුමාරතුංග පැවසී ය.

69 ලක්ෂයක් ජනතාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයට පත් කළේත් පොදුජන පෙරමුණු ආණ්ඩුවක් බලයට පත් කළේත් ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට, බෙදුම්වාදී උවමනා එපාකම් අනුව විකෘති කරන ලද ව්‍යවස්ථාව වෙනුවට ශක්ති සම්පන්න රාජ්‍යයක් සඳහා පදනම සපයන නව ව්‍යවස්ථාවක් හඳුන්වාදීමට, ඒ බැඳුණු නව මැතිවරණ ක්‍රමයක් සම්පාදනයට, මුළු රට ම එක ම නීති පද්ධතියක් තුළට ගෙන ඒමට සහ ජාතික ආර්ථිකයක් ගොඩනැඟීමට බව ගෙවිඳු කුමාරතුංග අවධාරණය කළේ ය.

එසේ ම ජාතික සම්පත් සුරක්ෂිත කිරීම, විනයගරුක, සතුටින් සිටින සමාජයක් ගොඩනැඟීම ද තම ආණ්ඩුවේ වගකීමක් බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා තම ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කරනවා නම් ඒ සඳහා පදනම් කරගත යුත්තේ මෙම කරුණු බව ද ප්‍රකාශ කළේ ය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දෙවන පදවි ප්‍රාප්තියට පෙර නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන බවට එතුමා දුන් ප්‍රතිඥාව ඉටු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද ගෙවිඳු කුමාරතුංග සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස