අශිෂ්ට මඩ දේශපාලනය තවත් එපා! ශිෂ්ට දේශපාලන සංවාදයකට එන්න! – ඇන්ටිජන් ගැන බොරු කී විපක්ෂ මන්ත්‍රීට දිලිත්ගෙන් ඇරයුම්…

November 9, 2020 at 9:32 am | by emanisa.lk

මේ රටේ මුල් බැස පවතින අශීලාචාර මඩ දේශපාලනය වෙනුවට ශිෂ්ට දේශපාලනයක් මේ රටේ ජනතාව ඉල්ලා සිටින බව දෙරණ මාධ්‍ය ජාලයේ ප්‍රධානී දිලිත් ජයවීර පවසයි.

සමාජමාධ්‍ය නාළිකාවක් ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු පවසන්නේ විපක්ෂයේ එක්තරා මන්ත්‍රීවරයෙකු රූපවාහිනි සංවාදයක දී මේ රටට රැපීඩ් ඇන්ටිජන් උපකරණ කට්ටල ගෙන්වීම සම්බන්ධයෙන් දැන දැන ම අසත්‍ය ද්වේශ සහගත ප්‍රකාශයක් උස් හඬින් නිකුත් කළ බව ය.

එම මන්ත්‍රීවරයා ඇතුළු මන්ත්‍රීවරුන් ජනතාව පත් කර ඇත්තේ ජනතාව තව දුරටත් මඩ අවලාද දේශපාලනය ඉදිරියට ගෙන යාමට නො වන බව පවසන දිලිත් ජයවීර පවසන්නේ අදාළ ගනුදෙනුව සම්බන්ධව ව්‍යාපාරිකයාගේ ආත්ම ගරුත්වය රැකෙන ශිෂ්ට සාධාරණ සංවාදයකට පැමිණෙන ලෙස ය.

මේ රටේ ව්‍යාපාරිකයකු ව්‍යවසායකයකු වන තමන් එම අශිෂ්ට සංවාදය සඳහා සූදානම් නැති බවත් ඒ වෙත තමා බලහත්කාරයෙන් ඈඳා නො ගන්නා ලෙසත් ඔහු ඉල්ලයි. එ සේ කළහොත් මෙම අශිෂ්ට දේශපානඥයා ඇතුළු කණ්ඩායම්වල දේශපාලන භාවිතාව තමන්ට ප්‍රශ්න කිරීමට සිදුවන බවට ද ඔහු අනතුරු අඟවයි.

එහෙයින් පෞද්ගලික අංශය විසින් රැපීඩ් ඇන්ටිජන් කට්ටල ගෙන ඒමෙන් ජනතාවට රටට හානියක් සිදුව තිබේ ද දේශපාලනය භාවිත කර තිිබේ ද රෝගීන්ට අසාධාරණයක් වී තිබේ ද යන්න පිළිබඳ ශිෂ්ට දේශපාලන සංවාදයකට එන ලෙස ද එවිට සත්‍ය රටට දැනගත හැකි වනු ඇතැයි ඔහු වැඩි දුරටත් අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *