අශිෂ්ට තීන්දු ගත්තා නම් මම අද ජනාධිපති..! – සජිත්…

August 7, 2022 at 11:36 pm | by emanisa.lk

ප්‍රජාන්ත්‍රවාදය සදාචාරය අමතක කර අශිෂ්ට ආකාරයට තීන්දු තීරණ ගත්තා නම් අද වන විට තමාට ජනාධිපති වුව විය හැකි බවත් එහෙත් සදාචාර විරෝධිව ජනාධිපති නොවී ජනතාවගේ කැමැත්තෙන් තොරව කිසිඳු තනතුරක් ලබා නොගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

රටේ පවතින අසීරු තත්ත්වය තේරුම් ගෙන සියලු දෙනා රට ගොඩ නැගීමට එක් විය යුතු බවත් එහිදී ඇමතිකම් නොගෙන පාර්ලිමේන්තු කමිටු ක්‍රමවේදය හරහා එකට අත්වැල් බැඳගෙන රට ගොඩනැගීමට සූදානම් බවත් ඊයේ (6) අරනායක සමගි ජනබලවේගයේ බල මණ්ඩල රැස්වීම අමතමින් විපක්ෂ නායකතුමා ඒ බව පැවසීය.

අද වන විට ජනතාව අසීමිත දුකකට වේදනාවකට පත්ව ඇති බවත් 2019 ජනාධිපතිවරණයට පෙර කිසිඳු පෝලිමක් නොතිබූ බවත් අවම උද්ධමනයකින් යුතුව ආත්ම අභිමානයෙන් ජීවත් වූ බවත් පැවසූ විපක්ෂ නායකතුමා, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ප්‍රමුඛ රාජපක්ෂ පරපුරේ පොහොට්ටු පවුල් පාලනයේ අදූරදර්ශී පාලනය හේතුවෙන් මේ වන විට ලෝකේ වටේ ගිහින් ඩොලර් හිගාකන තත්ත්වයට පත්ව ඇති බව ද පැවසීය.

එසේම වර්තමාන රජය හදිසි නීතිය දමා මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහෝසි කරමින් වෘත්තීය සමිති නායකයන් පවා දඩයම් කරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා පවා වරක් පාර්ලිමේන්තුවේ දී ජෝසෆ් ස්ටාලින් මහතා අත්අඩංගුවට ගැනීම ජී.එස්.පී + නැති වීමට ද හේතුවක් විය හැකියි පැවසුවත් ඔහු ජනාධිපති වූ විගස ජෝසෆ් ස්ටාලින් මහතා අත්අඩංගුවට ගත් බවත් එය සදාචාර විරෝදී ක්‍රියාවක් බවත් පැවසීය.

මේ වන විට රට තුළ පුද්ගල ඝාතන මෙන්ම ගෙවල් ගිනි තැබීම් පසුගිය කාලයේ සිදු වූ බවත් එවැනි ක්‍රියා මෙන්ම ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන රාජ්‍ය මිලේච්ඡත්වය ද තමා ප්‍රතික්ෂේප කරන බවත් ආණ්ඩුවට හදිසි නීතිය උපයෝගී කර ගෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ළංඝනය කළ නොහැකි බව ද පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස