අර්බුදයෙන් ගොඩ එන්න ණය ගෙවීම් සඳහා සහනයක් දෙන්න…! – ජනපති චීන ඇමැතිගෙන් ඉල්ලයි…

January 10, 2022 at 9:58 am | by emanisa.lk

කොවිඩ් වසංගතය හමුවේ රට තුළ පැනනැගී ඇති ආර්ථික අර්බුදයට විසඳුමක් ලෙස ණය ආපසු ගෙවීම ප‍්‍රතිව්‍යුහගත කිරීමට ඇති හැකියාව කෙරෙහි අවධානය යොමු කළ හැකි නම් එය ශ‍්‍රී ලංකාවට විශාල සහනයක් වනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ චීන විදේශ අමාත්‍ය හා රාජ්‍ය උපදේශක මණ්ඩලයේ සාමාජික වැන්ග් යීට පෙන්වා දී තිබේ.

ජනාධිපතිවරයා මේ බැව් සඳහන් කළේ චීන විදේශ ඇමැතිවරයා සමග ඊයේ (09දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති හමුවේදීය.

තව ද නව සාමාන්‍යකරණය යටතේ සංචාරකයන් සඳහා ශ‍්‍රී ලංකාව විවෘත කර ඇති බවත් ඒ අනුව ජෛව බුබුලක් තුළ රඳවා ගනිමින් චීන සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමට සහාය වන ලෙස ද ජනාධිපතිවරයා චීන විදේශ ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

එමෙන්ම චීනයෙන් සිදු කරන ආනයනවල දී සහනදායී වෙළෙඳ ණය ක‍්‍රමයක් ලබා ගැනීමට හැකි වෙතොත් බාධාවකින් තොරව කර්මාන්ත පවත්වා ගෙන යෑමට එය ඉවහල් වනු ඇතැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

කොවිඩ් වසංගතයට මුහුණදීමේදී චීනයෙන් ලැබුණු ද්‍රව්‍යමය හා මූල්‍ය ආධාර වෙනුවෙන් ජනාධිපතිවරයා ශ‍්‍රී ලංකා රජයේත්, ජනතාවගේත් ස්තුතිය විදේශ අමාත්‍යවරයා වෙත පිරිනැමීය. කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථකව පවත්වා ගෙන යෑම සඳහා ශ‍්‍රී ලංකාවට අඛණ්ඩව සයිනොෆාම් එන්නත් ලබා දෙමින් දැක්වූ සහයෝගය වෙනුවෙන් ද ජනාධිපතිවරයා චීන රජයට තම කෘතවේදීත්වය පළ කළේය.

දෙරට අතර මිතුදම ආවර්ජනය කළ චීන විදේශ ඇමැතිවරයා නැවත වතාවක් ශ‍්‍රී ලංකාවට පැමිණීමට හැකිවීම පිළිබඳ තමා සතුටට පත්වන අතර සමීප මිත‍්‍රයකු ලෙස චීනයේ සහාය සෑම විට ම ලබාදෙන බව ද පැවසීය. චීනයට පැමිණෙන ලෙස ජනාධිපතිවරයාට ආරාධනා කළ චීන විදේශ ඇමැතිවරයා එය ඉතා නුදුරු දිනකදීම සිදුවනු ඇතැයි විශ්වාසය පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස