අපි වැඩි ම ධීවර වරාය ගණනක් හදලා ධීවර ජනතාවට සැලකුවා! යහපාලන ආණ්ඩුව ඒ ධීවරයින් ආදායම් බදු ගැහුවා! – මහින්ද

December 7, 2020 at 9:46 pm | by emanisa.lk

2005-2015 සමයේ සිය ආණ්ඩුව යටතේ ධීවරයින් ආදායම් බද්දෙන් නිදහස් කළ ද යහපාලන ආණ්ඩුව 2016 වසරේ දී ධීවර ජනතාව මත එම බදු පැන වූ බවත් 2021 අයවැය මගින් නැවතත් එම ආදායම් බදු ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු කළ බවත් අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.

ඊයේ (06) බහුදින ධීවර යාත්‍රා 400කට සහ කුඩා ධීවර යාත්‍රා සඳහා පහසුකම් සලසන ගන්දර ධීවර වරායේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම උත්සවයට එකතු වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

“ධීවරයා රැකගත යුතුයි කියන ස්ථාවරයේ අපි කවදත් හිටියා. ඉතිහාසය දන්න අය දන්නවා රාජපක්ෂවරුන් සහ ධීවරයන් අතර බැඳීම කොතරම්ද කියලා. ලංකාවේ ධීවර වරායන් වැඩි ම ගණනක් ඉදිකළේ 2005-2015 අපේ ආණ්ඩු කාලයේදි. ඒ කාලයෙදිත් අද වගේ ම ධීවරයින් වෙනුවෙන් දෙන්න පුළුවන් උපරිම සහන දෙන්න අපි කටයුතු කළා. ධීවරයන්ට තාක්ෂණික දැනුම දුන්නා. දැන් අපට අවශ්‍ය වන්නේ එතැනින් ඉදිරියට ඔබව රැගෙන යාමයි.

2005-2015 කාලයේ ධීවරයින් ආදායම් බද්දෙන් නිදහස් කරන්න අපි කටයුතු කළා. නමුත් 2016 වර්ෂයේ යහපාලන ආණ්ඩුව ධීවරයින් මත නැවතත් ආදායම් බදු පැනෙව්වා. මෙවර අයවැය තුළින් අපි නැවතත්, ඉදිරි වසර 5ක කාලය සඳහා ආදායම් බදු වලින් ධීවරයින් නිදහස් කළා.

අනවසර ඉන්දීය ධීවරයන්ගේ ගැටලුවෙන් අපේ ධීවරයන් දිගු කලක පටන් පීඩා විදිනවා. දශක ගණනාවක් තිස්සේ සාකච්ඡා මාර්ගයෙන් මෙම ගැටලුවට කොතරම් පිළියම් සෙව්වත්, නැවත නැවත මෙම අර්බුදය මතුවෙනවා. ඒ නිසා පසුගිය දවසෙ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එක්ක වීඩියෝ තාක්ෂණයෙන් කතා කරපු වෙලාවේ මම එතුමාගේ අවධානයටත් එය යොමු කළා. ඉන්දියාව සමඟ සාකච්ඡා කරමින් අපේ ධීවරයන්ට ඉතා ළග විසදුමක් ලබා දීමට රජයක් විධියට අපි උනන්දුවෙන් පසුවෙනවා. කැබිනට් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ඉදිරියේදී ඒ සදහා සෘජුවම මැදිහත්වන බව මා සමඟ පැවසුවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස