අන්තවාදී පාස්ටර්ලගේ දෙස් විදෙස් ආදායම් පරික්ෂා කරන්න..! – කාදිනල්තුමා…

February 13, 2021 at 8:26 pm | by emanisa.lk

පාස්ටර්වරුන් ලෙස පෙනී සිටින අන්තවාදී කල්ලිවල සියලුම පුද්ගලයන් නියාමනය කර, ඔවුන්ට එන දෙස් විදෙස් ආදායම් මාර්ග පරීක්ෂා කරන ලෙස මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඊයේ (11 වැනිදා) රජයෙන් ඉල්ලීමක් කළහ.

‘පාස්ටර්ලා’ යැයි තමන්ම කියාගන්නා පිරිසක් රටපුරා තැනින් තැන බිහිවෙමින් පවතින බවත්, ඔවුන් රටේ ප්‍රවීණයන්, කෘතහස්ත කලාකරුවන්, ක්‍රීඩකයන්, ව්‍යාපාරිකයන් ආදී පිරිස් ඉලක්ක කරගනිමින් විවිධ අන්තවාදී ක්‍රියාකාරකම් සිදුකරන බවත් කාදිනල් හිමිපාණන් පැවැසූහ.‘ක්‍රිස්තියානි’ නමින් පවත්වාගෙන යන ඇතැම් සංවිධාන සහ පුද්ගලයන් සිදුකරන සදාචාර විරෝධී පෙලඹීම් මගින් ජනතාව ආගමික කණ්ඩායම්වලට උපායශීලි ලෙස හරවා ගැනීම සම්බන්ධයෙන් කතෝලික සභාවේ නිල ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා කොළඹ අගරදගුරු මැදුරේ ඊයේ (11 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී කාදිනල් හිමිපාණෝ එලෙස පැවැසූහ.

ජනතාව බලෙන් ආගමට හරවා ගැනීම, ඔවුන්ට ආර්ථික ප්‍රතිලාභ පොරොන්දු වන ආගමක් දේශනා කිරීම සඳහා ගෙයින් ගෙට යෑම හෝ ප්‍රසිද්ධ ස්ථානවල ජනතාව රැස්කරමින් ජනතාව මුළා කිරීම වැනි කටයුතුවල කතෝලික සභාව නිරත වී නොමැති බව අවධාරණය කළ කාදිනල් හිමිපාණෝ සාම්ප්‍රදායික රෝමානු කතෝලික සභාව මෙවැනි අන්තවාදී වැඩපිළිවෙළක නොමැති බවද ප්‍රකාශ කළහ.

‘ක්‍රිස්තියානි’ නම භාවිත කරමින් දශක තුනක කාලයක පමණ සිට හතු පිපෙන්නාක් මෙන් කලින් කලට තැනින් තැන මතුවන පාස්ටර්ලා යැයි කියාගන්නා අය පවත්වාගන යන සංවිධාන, රැස්වෙන ස්ථාන සහ ඔවුන්ගේ නියෝජිතයන් සම්බන්ධයෙන් ප්‍රමිතියක්, පිළිවෙළක්, නිල පුහුණුවක්, වගවීමක්, වගකීමක් පෙනෙන්නට නැතැයි පැවැසූ කාදිනල් හිමිපාණෝ මෙම ප්‍රෝඩාකාරී වැඩපිළිවෙළ ක්‍රිස්තු අනුගාමිකයන් වන අප සම්පූර්ණයෙන්ම හෙළාදකින බවද පැවැසූහ.

‘පාස්ටර්ලා’ යනුවෙන් හඳුන්වන අය පවත්වන වැඩසටහන්වලින් රටේ ආගමික සංහිඳියාවට බලපෑම් එල්ල වන බවත්, එය ඉතා බරපතළ තත්ත්වයක් බවත් කාදිනල් හිමිපාණෝ වැඩිදුරටත් පැවැසූහ.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස