ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ අර්බුදයක් හටගෙන ඇති බවට පළවන වාර්තා සම්පූර්ණ අසත්‍ය බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
එවැනි කිසිදු අර්බුදයක් පක්ෂය තුළ නොමැති බවත්, පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 14 දෙනා මෙන්ම පක්ෂයේ මධ්‍යම කාරක සභාව, සංවිධායකයන්, ගමේ සාමාජිකයන් සියලු දෙනා එක මතයක එකට සිටින බව ද ඇමැති අමරවීර පෙන්වා දෙයි.
මේ වන විට පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතු සාර්ථකව සිදුවන බවත්, රට පුරා පක්ෂ සංවිධාන ශක්තිමත් කරමින් තිබෙන බවත් ඇමතිවරයා සඳහන් කරයි.
පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා ශ්‍රීලනිප නායකයන් ගම් මට්ටමින් ප්‍රාදේශීය මට්ටමින් රැස්වීම් පවත්වන බවත් එම කටයුතු සම්බන්ධයෙන් ඇතැම් පුද්ගලයන් කලබලයට පත් වී විවිධ ප්‍රකාශ සිදු කරන බවත් පෙන්වා දෙන ඇමැති අමරවීර පවසන්නේ ඒ පිළිබඳව ශ්‍රීලනිපය තැකීමක් නොකරන බවයි.
ඇතැම් පක්ෂවලට, ඇතැම් දේශපාලනඥයන්ට අද ගමට ගොස් ගමේ ජනතාවට හමුවීමට හැකියාවක් නොමැති වුවද ශ්‍රීලනිපයට එවැනි ගැටලුවක් නොමැති බව ද ඔහු අවධාරණය කරයි.