හොර සීනි සහල් ගබඩා අල්ලන්න හදිසි නීතිය පැනවීම ප්‍රජාතන්ත්‍ර විරෝධියි…! – සජිත්…

September 3, 2021 at 8:05 am | by emanisa.lk

ආණ්ඩුව හදිසි නීතිය ගෙන ඒමට හේතුව භාණ්ඩ මිල පාලනය කිරීමට යැයි බොරුවක් මවාපෑම, සහමුලින්ම ආණ්ඩුවේ වැරැදි සහ නොහැකියාවන් වසා ගැනීම සඳහා ගනු ලැබූ අත්තනෝමතික ක්‍රියාවලියක් පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

විපක්ෂ නායක කාර්යාලයේ දී ඊයේ (02) විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

2003 අංක 9 දරන පාරිභෝගික පනත හරහා ඒ කටයුත්ත මැනවින් සිදු කර ගැනීමේ හැකියාව ඇතත් කඩිමුඩියේ ආණ්ඩුව හදිසි නීතිය ගෙන ඒමෙන් තහවුරු වන්නේ ඊට වඩා භයානක කටයුත්තකට ආණ්ඩුව අර අඳිමින් සිටින බව තහවුරු වන්නේ යැයි විපක්ෂ නායකවරයා අනතුරු ඇඟවූයේ ය.

ආණ්ඩුවේ අරමුණ වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රට, ඒකාධිපතිත්වයකට යොමු කරමින් අත්තනෝමතික ලෙස මානව හිමිකම්වලට පවා අභියෝග කිරීම බව පැහැදිලි වන්නේ යැයිද විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය. ආණ්ඩුව හදිසි නීතිය ගෙන ආ පළියට මෙරට ආසාදිතයන් ප්‍රමාණය අඩු වෙන්නේ නැති බවත්, අවශ්‍ය එන්නත් ප්‍රමාණය රටට ලැබෙන්නේ නැති බවත්, කොරෝනා මර්දනය කිරීම සඳහා හදිසි නීතියෙන් සහයක් ලැබෙන්නේ නැති බවත් විපක්ෂ නායකවරයා පැවසුවේ ය.

සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පවසා සිටියේ රටේ භාණ්ඩ මිල හෝ විදේශ සංචිත ප්‍රමාණය හෝ පාලනය කර ගැනීමට බැරි ආණ්ඩුවකට හදිසි නීතිය අවශ්‍ය වන්නේ ජනතාව පීඩාවට පත් කිරීමට පමණක් බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස