සිරිසේන ළඟ තියෙන්නේ ශ්‍රීලනිප පොත්ත විතරයි! මදේ මහින්ද අරන් ගියා!

March 4, 2019 at 7:15 am | by admin

මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ළඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය තිබුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද දෙකට කැඩිලා. පිට පොත්ත මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ළඟ තිබුණට මහින්ද රාජපක්ෂ මහත්තයා මද කෑල්ල අරගෙන ගිහින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැදුවා. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩි බලය තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා ළඟ යැයි ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පසු ගිය 02 දා සවස බදුල්ල තැපැල් සංකීර්ණ ශ්‍රවණාගාරයේදී පැවැති ජ.වි.පෙ. බදුල්ල ආසන බලමණ්ඩල රැස්වීමේ ප්‍රධාන ආරාධිත දේශනය සිදුකරමිනි.

එහි දී ලේකම්වරයා වැඩි දුරටත් මෙසේ පැවසීය.

“අපේ රටේ පාලකයන් විසින් අපේ රට කිසිදු දෙයක් නිෂ්පාදනය නොකර පිටරටින් ණයට කන ජාතියක් වෙසෙන රටක් බවට පත්කර තිබෙනවා. රට තුළ නිෂ්පාදන ආර්ථිකයක් ඇතිකරනවා වෙනුවට පිටරටින් ණයට කන්නත් ඒ ණය ගෙවන්න රටේ සියලු සම්පත් පිටරටවලට විකුණන්නත් ඔවුන් කටයුතු කර තිබෙනවා.”

“මේ නිසා අද ජනතාව අද ඉන්නේ සතුටින් නොවේ. බඩුමිල අහස උසට නැඟලා. බදු බර ජනතාවට දරාගන්න බෑ. දවසින් දවස විවිධ ප්‍රශ්න මතුවෙනවා ඒවාට විසඳුම් නෑ. සාමාන්‍ය ජනතාවට විතරක් නොවේ. රටේ පාලකයන්ටත් ප්‍රශ්න.”

“ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට තිබෙන ප්‍රශ්නය දෙවන වතාවටත් ජනාධිපති වෙන්නේ කොහොමද කියන එකයි. අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා හිතන්නේ ජනාධිපති වෙන්නේ කවදද කියලා. මහින්ද රාජපක්ෂ මහත්තාට ආයෙ ජනාධිපති වෙන්න බැරි නිසා එයා කල්පනා කරන්නේ ඊළඟ ජනාධිපතිවරණයට දාන රාජපක්ෂ කවුද කියන එකයි.”

“මේ රට ගොඩනැඟිය හැකි වන්නේ හොරකම් නොකරන රටේ ජනතාවට වංචා නොකරන පක්ෂයකට පමණයි. එවන් පක්ෂයකට මේ රටේ ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ පමණයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස