ශ්‍රීලනිප පොහොට්ටු සන්ධානයට ආර්යා බාධකයක්!

October 6, 2019 at 11:42 pm | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට අද පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියෝගයෙන් හදිසියේම අත්හිටුවා ඇත්තේ දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රබල ආර්යාවන් දෙදෙනෙකුගේ බලපෑම් නිසා බව දැන ගන්නට ලැබී තිබේ.

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ බහුතර මතය වී තිබුණේ ශ්‍රීලනිපය ගෝඨාභය රාජපක්ෂට සහාය ලබා දිය යුතු බවය. පක්ෂය වෙනුවෙන් එම තීන්දුව ගැනීම ජනාධිපතිවරයාට භාර කළ ද සැබවින්ම සිදුවීමට තිබුණේ අදාළ තීන්දුව රටට පැවසීම ඔහුට පැවරීමය.

ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර වැනි අයගේ ප්‍රකාශවලින් එය තහවුරු විය. අනෙක් අතට තමන් ගැනීමට යෝජනා කරගත් තීන්දුව අනුව බස්නාහිර පළාත් හිටපු මහ ඇමති ඉසුරු දේවප්‍රිය, පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම ආදීන් පොහොට්ටුවේ ජනහමුවලට සම්බන්ධ වූ අතර නිමල් සිරිපාල ද සිල්වා ශ්‍රීලනිපය මෙවර ජනාධිපතිවරණයේ දී ගෝඨාභයට සහාය දිය යුතු බවට යෝජනාවක් ද බදුල්ලේ ශ්‍රීලනිප නියෝජිතයන් ලවා අනුමත කරගැනීමට කටයුතු කළේය. මේ වන විට දුමින්ද දිසානායක වැනි අය පවා ගෝඨාභය රාජපක්ෂ සමග සමීප සබඳතා ගොඩනඟා ගෙන ඇතැයි වාර්තා වෙයි.

මේ ආකාරයට ශ්‍රීලනිප නායකයන් එකිනෙකා පොහොට්ටුව කරා ඇදෙද්දී බිම් මට්ටමේ ශ්‍රීලනිප පාක්ෂිකයා ගෝඨාභය වෙත ආකර්ෂණය වන විට පක්ෂ තීන්දුව රටට කියන මාධ්‍ය හමුව අවලංගු කිරීමට ජනාධිපතිවරයා  හදිසියේම කටයුතු කළේය.

මේ සඳහා බලපෑම් කර ඇත්තේ හිටපු ජනාධිතිනි චන්ද්‍රිකා කුමාරතුංග සහ ඇමති සජිත් ප්‍රේමදාසගේ බිරිඳ ජලනි ප්‍රේමදාස බවට ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග අනාවරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස