ශ්‍රීපාද පෙරහැරට මෙවර ප්‍රථම වරට රාජ්‍ය අනුග්‍රහය! ශ්‍රීපාද වන්දනාව අරඹන්න සූදානම්!

December 9, 2020 at 12:01 pm | by emanisa.lk

ශ්‍රී පාද වන්දනා වාරය එළඹෙන උදුවප් පුන් පොහෝ දිනෙන් ආරම්භ කිරීමට නියමිත අතර මේ පිළිබඳ සාකච්ඡාවක් ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුවගේ සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ.ගමගේ ගේ ප්‍රධානත්වයෙන් රත්නපුර පිහිටි ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවණාගාරයේ දී ඊයේ (08) පැවැත්විණි.

රාජ්‍ය අනුග්‍රහය ඇතිව ප්‍රථම වරට පැවැත්වීමට නියමිත මෙවර ශ්‍රීපාද පෙරහැර කොවිඩ් වසංගතය හේතුවෙන් විශේෂ සෞඛ්‍ය විධිවිධානවලට අනුගතව පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව සඳහන් කළේ ය.

ඒ අනුව දෙසැම්බර් 27 සවස යෙදෙන විශේෂ නැකතකට අනුව ශ්‍රී පාද රජමහා විහාරයේ විශේෂ කුටියක තැන්පත් කර තිබෙන සාධාතුක කරඩුව සහ සමන් දේව ප්‍රතිමාව 28 දා උදෑසන ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ සිට ශ්‍රී පාදස්ථානය දක්වා මාර්ග 04ක් ඔස්සේ වැඩමවීමට නියමිතය.

ඒ අනුව ශ්‍රී පලාබද්දල මාර්ගය, බලංගොඩ මාර්ගය, කුරුවිට මාර්ගය සහ හැටන් නල්ලතන්නි මාර්ගය යන මාර්ග 04න් ගමන් ගන්නා මෙම පෙරහැර විශේෂයෙන් සෞඛ්‍ය රීතින්ට අනුව මග නොනත්වා ගමන් කිරීම සිදු කරනු ලබයි.

කොවිඩ් වසංගතය හේතුවෙන් මෙවර ශ්‍රීපද වන්දනා වාරය අවම ජනතා සහභාගිත්වයෙන් සිදු කිරීමට සෞඛ්‍ය උපදෙස් ලැබී ඇතැයි ටිකිරි කොබ්බෑකඩුව මෙහි දී පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස