ශ්‍රී ලංකාවට තවත් විජයග්‍රහණයක්…! බුකර් සම්මානය ශෙහාන් කරුණාතිලකට…!

October 18, 2022 at 3:29 pm | by emanisa.lk

2022 සඳහා වන බුකර් සම්මානය ශ්‍රී ලාංකික ලේඛක ශෙහාන් කරුණාතිලකට පිරිනමා තිබේ.

2011 වසරේ සිය පළමු නවකතාව වන චයිනමන් (Chainaman – The Legend of Pradeep Mathew) ලියමින් ශෙහාන් කරුණාතිලක සාහිත්‍ය ක්ෂේත්‍රයට පිවිසියේ විචාරක පැසැසුමට ලක් වෙමිනි. එය ක්‍රිකට් ක්‍රීඩාව විෂය කරගනිමින් ලියවුණු ලොව දෙවැනි හොඳ ම නවකතාව ලෙස පිළිගැනෙයි.

සාහිත්‍ය වෙනුවෙන් පිරිනැමෙන ඉහළම ජාත්‍යන්තර සම්මානය ලෙස සැලකෙන බුකර් සම්මානයට පාත්‍ර වූයේ ශෙහාන් කරුණාතිලකගේ දෙවැනි නව කතාව වන ‘සෙවන් මූන්ස් ඔෆ් මලී අල්මේදා’ (Seven moons of Mali Almeida) ය.

වෘත්තීය ලේඛකයකු වන ශෙහාන් කරුණාතිලක ගාල්ලේ උපත ලැබුවෙකි. කොළඹ හැදී වැඩුණු ඔහු වැඩි දුර අධ්‍යාපනය හදාරා ඇත්තේ නවසීලන්තයේය. ජනමාධ්‍යවේදියකු ද වන 46 හැවිරිදි ශෙහාන් කරුණාතිලක ලේඛන කලාවට පිවිසීමට පෙර, දැන්වීම්කරණ ක්ෂේත්‍රයේ රැකියාව කළේය. ශෙහාන් කරුණාතිලක ළමා පොත් රචකයකු, තිරපිටපත් රචකයකු මෙන්ම ගීත පද රචකයකු ද වෙයි.

ඔහු සුප්‍රසිද්ධ The Guardian, Newsweek, Rolling Stone, GQ, National Geographic, Conde Nast, Wisden, The Cricketer සහ the Economic Times ආදී සගරාවලට ලිපි සම්පාදනය කරයි.

ශ්‍රී ලංකාවේ උපත ලැබු ලේඛකයකුට බුකර් සම්මානය හිමිවුණු දෙවැනි අවස්ථාව මෙයයි. මීට පෙර බුකර් සම්මානයෙන් පිදුම් ලැබුවේ මයිකල් ඔන්ඩච්චිය. ඒ,1992 වසරේ ‘ඉංග්ලිෂ් පේෂන්ට්’ (The English Patient) කෘතිය වෙනුවෙනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස