පූටින්ට ලියුමක් යැව්වා කියල රුසියාවෙන් තෙල් නැව් එවන්නේ නෑ..! – කාංචන…

June 26, 2022 at 4:29 pm | by emanisa.lk

අමාත්‍යවරු දෙදෙනෙක් හෙට (27) රුසියාව බලා පිටත්ව යන බවත් එහි දී ඍජුවම රුසියාවෙන් තෙල් මිලට ගැනීම පිළිබඳ ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

අද (26) පැවති මාධ්‍ය හමුවේ දී අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

“උනන්දු වෙන්නේ නෑ කියන එක වැරදි මතයක්. අපි ඉල්ලීම් කරලා තියෙනවා. ඒ යන්න ඕන රාජතාන්ත්‍රික ක්‍රමවේද තියෙනවා. මීට පෙරත් එන්න තිබුණ නෞකාවත් රුසියානු සමාගමකින් ආපු නෞකාවක්. පළමු ණයවර ලිපිය ප්‍රතික්ෂේප වුණේ ජාත්‍යන්තර වශයෙන් තිබුණු බැංකුවලින් රුසියානු සමාගමක නෞකාවක් නිසා. ඒ නිසා අපි වෙන සමාගමක තැනකට ගිහින් කළේ. යම් යම් තාක්ෂණික කාරණා තියෙනවා. කොයි වෙලාවේවත් අපි මිල දී ගැනීම නවත්වලා නෑ.

නමුත් ඍජුව ලබාගැනීම තමා වාසියක් වෙන්නේ. ඒ සඳහා තානාපතිතුමිය කටයුතු කරනවා. අපිත් ලිඛිතව ඉල්ලීම් කරනවා. ජනාධිපතිතුමා නිරන්තරයෙන් ඉල්ලීම් කරනවා. ඒ නිසා ඒක අතහැරලා නෑ. ඒක අද ඉල්ලලා හෙට ලැබෙන්නේ නෑ. මේක කවුරුහරි හිතනවා නම් අද ලියුමක් යවලා හෙට උදේ රුසියාවේ ජනාධිපති ප්‍රතිචාර දක්වලා තෙල් නැව් එවනවා කියලා. අපි කැමතියි ඒ පුද්ගලයින්ට ඒ ඕනේම ලිපියක් ලබා දෙන්න.

ඒ නිසා ඒකට ක්‍රමවේදයක් තියෙනවා. මං දන්න විදියට අමාත්‍යවරු දෙදෙනෙක් යනවා යම් යම් කාරණා ගැන රුසියාව එක්ක කතා කරන්න. වෙනත් රාජතාන්ත්‍රික කටයුත්තකට යන අතරතුර. අපි බලාපොරොත්තු වෙනවා සුබදායි පිළිතුරක් ලැබෙයි කියලා. අපිට කාගෙන්න ලැබෙන්නේ කියන එක ගැටලුවක් නෙමෙයි. අපිට අඩුවට ලැබෙනවා නම් අපි ඒකට උත්සහ කරනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *