රනිල්ගේ තවත් තුරුම්පුවක් කපෝතියි! ජනාධිපති ධුරය අහෝසි කිරීමට සජිත් පිල එරෙහි වෙයි!

September 19, 2019 at 5:00 pm | by emanisa.lk

මේ අවස්ථාවේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ඕනෑම පියවරකට සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ ඔහුට සහය දක්වන මන්ත්‍රි කණ්ඩායම එරෙහි වන බව අගමැති රනිල් වික්‍රමසිංහට දැනුම් දුන් බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි. සිය නිල ට්විටර් ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කරයි.

විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් ගත යුතු ඕනෑම පියවරක් ජනාධිපතිවරණයෙන් පසුව ගත යුතු බව ඔහු පවසයි. ජනාධිපතිවරණයක් කැඳවීමෙන් පසුව එවැනි ක්‍රියා මාර්ගයකට එළැඹීම සුදුසු නොවන බවද මෙහිදී අගමැතිවරයාට දැනුම් දුන් බව ඔහු හෙළි කරයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස නම් කරන්නේ නම් ඒ සඳහා සිය පුර්ණ සහයෝගය ලබා දෙන බව පාඨලි චම්පික රණවක, මනෝ ගනේෂන්, රිෂාඩ් බදියුදීන්, රාවුෆ් හකීම් සහ පලනි දිගම්බරම් යන අමාත්‍යවරුන් අද පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී දැනුම් දුන් බව ද අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හෙළි කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අද (19) පස්වරුවේ හදිසි  කැබිනට් රැස්වීමක් කැඳවනු ලැබූ අතර  එහිදී මේ සම්බන්ධයෙන්  දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

අදළා යෝජනාව ඉදිරිපත් කරමින් අගමැතිවරයා සඳහන් කර ඇත්තේ  සිවිල් සංවිධානවල  ඉල්ලීමක් ලෙස  මෙම යෝජනාව ගෙන එන බවයි.

එම යෝජනාවට පක්ෂව  රවී කරුණානායක සහ රාජිත සේනාරත්න යන ඇමැතිවරු දෙදෙනා පමණක්  අදහස් දක්වා ඇති අතර  ඇමැතිවරුන් යෝජනාවට විරුද්ධව අදහස් දක්වා ඇත.

මංගල සමරවීර, රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, පාඨලී චම්පික රණවක, පී දිගම්බරන්, රංජිත් මද්දුම බණ්ඩාර, තලතා අතුකෝරල ප්‍රමුඛ ඇමැතිවරු පිරිසක් යෝජනාවට විරුද්ධව අදහස් පළ කර ඇතැයි ද වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස