රට භාරදෙන්න ඕන රට වෙනුවෙන් මැරෙනවා කියන කෙනෙකුට නෙමෙයි! බියෙන් සැකෙන් තොර සුරක්ෂිත රටක් හදන්න පුළුවන් කියලා ඔප්පු කළ කෙනෙකුට! – මුත්තයියා මුරලිදරන්

September 9, 2019 at 10:21 am | by emanisa.lk

නායකයෙකු යනු වචනයෙන් නොව ක්‍රියාවෙන් ආදර්ශයෙන් කටයුතු කර පෙන්වූ අයකු බවත් ජනතාව ඔහු විශ්වාස කරන්නේ එවිට බවත් සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසයි.

ඊයේ (08) වියත්මග තරුණ හමුවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. මෙම සමුළුව කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවැත්විණි. එහි දී මුරලිදරන් වැඩි දුරටත් මෙසේ පැවසීය.

“මට ඇහුණා සමහරු කියනවා මම රට වෙනුවෙන් මැරෙනවා කියලා. මොකටද මැරෙන්නේ. නායකයාට තියෙන්නේ රට පාලනය කරන්න. මට ක්‍රිකට් ටීම් එකේ තැනක් දෙන්න මම මැරිලා හරි විකට් ගන්නවා කියනවාද? මම මැරිලා කොහොමද විකට් ගන්නේ. ඔබ ඔබේ මොළය පාවිච්චි කරන්න.

නායකයකු අපට උවමනා තීන්දු ගන්නයි. ඔහු තීන්දු ගැනීමේ දක්ෂයෙකු විය යුතුයි. අපට උවමනා එවැනි නායකයෙක්. මම එවැනි නායකයෙකුට හදවතින්ම උදව් කරනවා. රටට මේ අවස්ථාවේ උවමනා එහෙම නායකයෙක් කියලා මම හිතනවා.

මම දෙමළ ජාතිකයෙක්. අපි මේ රටේ කිසිම බයක් නැතිව ජීවත් වුණා. සමහරු බය මොකක්ද කියලාවත් දන්නේ නෑ. මම බය අත්වින්දේ පාකිස්ථානයේ දී අපේ ටීම් එකට වෙඩි ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ. ඒක ඉතාම කෙටි කාලීන බයක්.

97-97 කාලේ අපි හිටියේ පැලවත්තේ. නමුත් මම කවදාවත් පාර්ලිමේන්තු පාරේ ගියේ නෑ. මම දන්නවා ඒ පාරේ ඕනෑම වේලාවක දේශපාලකයකුට බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙන්න පුළුවන් කියලා. අපි හැමදාම රවුමෙන් ගියේ. කොළඹ ආවත් අපි දෙමළ නිසා බයෙන් ජීවත් වුණා.

මගේ ජීවිතයේ වැදගත්ම දවස 2009 කියලයි මට හිතෙන්නේ. එදා සිට අපට බයක් නැතිව ජීවත් වෙන්න ලැබුණා. නමුත් පාස්කු ප්‍රහාරයත් සමග නැවත බය ආවා.

මේ මැතිවරණයේ දී වඩාත් වැදගත් වන්නේ බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න ආරක්ෂාව දෙන්න පුළුවන් නායකයා කවුද කියන එකයි. එවැනි නායක ලක්ෂණ සහිත අපේක්ෂකයෙක් ඉන්නවා නම් මම මගේ ඡන්දය ඔහුට ලබා දෙනවා.

77 ආණ්ඩුව පෙරළුණු වෙලාවේ විශාල විනාශයක් වුණා. මගේ තාත්තාටත් කඩුවෙන් කෙටුවා. අඟල් 12 පමණ තුවාලයක සලකුණු අදටත් දකින්න පුළුවන්. මගේ ඥාතීන් 80%ක් විතර ඉන්දියාවට ගියත් මගේ පියා නිර්භීත නිසා මේ රටේ නතර වුණා. ඔහු කීවා මම ශ්‍රී ලාංකිකයෙක් මම යන්නේ නෑ කියලා. ඒ ශක්තියයි මට ලැබුණේ.

නායකයා දේශපාලනඥයෙක් විය යුතුයි. නමුත් අද මේ රටේ ජනතාව වැරදි පාරක යනවා. ව්‍යාපාරිකයෙක් ක්‍රිකට් ක්‍රීඩකයෙක් මොනවාද දේශපාලනය ගැන දන්නේ? ඔවුන් ඒ ක්ෂේත්‍රවල දක්ෂයන් වුණාට හොඳ පාලකයන් වන්නේ නෑ. මම තෝරාගත්තොත් මම නිවැරදි නායකයෙක් වෙන්නේ නෑ.

ඔබ නායකයෙක් තෝරා ගැනීමේ දී කවුද මේ රටට වැඩක් කළේ කියලා හිතලා බලන්න. එහෙම සේවයක් රටට කළ පුද්ගලයා ඔබේ නායකයා විදිහට තෝරගන්න.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස