රටටම හිසරදයක් වන මනාප ක්‍රමය අහෝසි කරන්න! කොට්ඨාසයට වගකියන මන්ත්‍රීවරයෙක් ලබා දෙන්න! – අනූප පස්කුවල් අගමැති මහින්දගෙන් ඉල්ලයි…

July 7, 2020 at 9:11 am | by emanisa.lk

වර්තමාන මනාප පොරය නිමා නිමා කර කොට්ඨාශ ක්‍රමය ගෙන ඒම සඳහා අලුතින් බිහිවන රජය යටතේ කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අපේක්ෂක අනූප පස්කුවෙල් අගමැති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා සිටියේය.

ඊයේ (6) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති ‘මහින්ද මෙහෙවර කූටප්‍රාප්තිය! යුග යුග පවතින සමාජ සම්මුතියක් ගොඩනගමු!’ මැයෙන් අගමැති මහින්ද රාජපක්ෂගේ දේශපාලන දිවියට වසර 50ක් සැපිරීම නිමිත්තෙන් ​යුතුකම සංවිධානය විසින් පැවැත්වූ උත්සවයකදී හෙතෙම එසේ පැවසීය.

‘මුළු රටම අසරණ වෙලා අගාධයට ගිහින් තිබුණ වෙලාවක මේ රටට ශක්තියක් ලබාදීලා මේ රටට නියම නායකත්වයක් ලබාදුන්නේ හිටපු ජනාධිපති වත්මන් අගමැති මහින්ද රාජපක්ෂයි. රටේ ජනතාවට බලාපොරොත්තු ලබාදුන්නෙත් ඔහු.

ජනාධිපතිවරු පස්දෙනකුට අවසන් කිරීමට නොහැකි වුණු යුද්ධය අවසන් කරපු මේ රටේ ජනතාවට නිදහස ලබාදුන්නේ ඔහු. යහපාලන ආණ්ඩුව 19 වැනි සංශෝධනය ගෙනැල්ලා මහින්ද රාජපක්ෂ වත්මන් අගමැතිවරයා නැවත රාජ්‍ය නායකත්වය ලබාගැනීමට නොහැකිවන ලෙස කටයුතු සකස් කළා.

නමුත් එතුමා වටා සිටි ජනතාව එතුමාව කිසිදිනක අතහැර දමා ගියේ නැහැ. එතුමාව තව තවත් ශක්තිමත් කළා. මහින්ද රාජපක්ෂ කියන්නේ යුග මෙහෙවරක් කරපු ශ්‍රේෂ්ඨ නායකයෙක්.

එතුමා වරෙක කළුතර දිස්ත්‍රික්කයේ උත්සවයකට පැමිණි වෙලාවේ මම එතුමාට කිව්වා හැම දිස්ත්‍රික්කයටම වගේ විශ්වවිද්‍යාලයක් තියෙනවා. නමුත් කළුතර දරුවන්ට ඒ අවස්ථාව නැහැ කියලා. මේ වෙනකොට එතුමාගේ මැදිහත්වීම මත කළුතරට විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන්න සියලුම කටයුතු සූදානම් කරගෙන යනවා.

අප එතුමාගෙන් ඉල්ලා සිටින්නේ අපේ ආණ්ඩුවක් යටතේ මනාප ක්‍රමය අහෝසි කරලා කොට්ඨාසයට එක මන්ත්‍රීවරයෙක් පත් කරලා දෙන්න කියලා. ඒක සියලුම අපේක්ෂකයන්ට සහනයක් වේවි.’

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස