මෝල්හිමියන්ට මහ ලොකු ලාභයක් නෑ…! කිලෝව 60ට අරන් 105ට දුන්නා…! – රාජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත්…

September 12, 2021 at 8:38 pm | by emanisa.lk

රාජ්‍ය ඇමැතිවරුන් වන සිරිපාල ගම්ලත් සහ රොෂාන් රණසිංහ අතර වී සහ සහල් මිල ගණන් සම්බන්ධයෙන් පෙරේදා (10) උණුසුම් වචන හුවමාරුවක් ඇතිවිය.

තරුණ හා ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්‍ෂ මහතා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු හා වී ගොවීන්ගේ ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට පොළොන්නරුවට පැමිණි අවස්ථාවේදී රාජ්‍ය ඇමැතිවරුන් දෙදෙනා අතර මෙම මත ගැටුම ඇතිවිය.

වී කිලෝවක් සඳහා රු. 50ක සහතික මිල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව කී ගොවි නියෝජිතයෝ නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 65 ක් සහ කීරි සම්බා කිලෝවක් සඳහා රුපියල් 75 ක මිලක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කළහ.

රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ එම අවස්ථාවේ ‘‘තමුන්නාසේලාගේ ඉල්ලීම සාධාරණයි. මෝල්හිමියෝ රු. 60 ට ගත්තට 60 ට සරිලන ගාණකට නෙවෙයි, ලොකු ලාභයක් තියාගෙනනේ හාල් දෙන්නේ යැයි පැවසීය.

එම අවස්ථාවේ ඊට එරෙහිව අදහස් දක්වමින් රාජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත් “වැරදි අර්ථ නිරූපණ කරන්න එපා. හැටට අරගෙන තමයි එකසිය පහට දුන්නේ” යැයි කීය.

ඒ අවස්ථාවේ දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වූ අතර නාමල් රාජපක්ෂ ඇමැතිවරයා රොෂාන් රණසිංහට සන්සුන්වන ලෙස උපදෙස් දී එය සමථයකට පත් කළේය.

ගොවි ජනතාවගේ මෙම ඉල්ලීම රජයට ඉදිරිපත්කර විසඳුමක් ලබාදෙන බව ප්‍රකාශ කළ ඇමැති නාමල් රාජපක්ෂ ආණ්ඩුව ගොවීන්ට අසාධාරණයක් නොකරන බව ද කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස