මුස්ලිම් මෘතදේහ බලහත්කාරයෙන් ආදාහනය අමානුෂිකයි… අතාර්කිකයි…! සුළු ජාතිකයින්ට පීඩා කරන ලංකාවට එරෙහි වන්න..! – ගෝලීය දෙමළ සංසදය…

December 29, 2020 at 9:53 am | by emanisa.lk

කොවිඩ් ආසාදනය වී මරණයට පත්වන මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ භූමිදානය කළ යුතුය යන ඉල්ලීම වෙනුවෙන් තම සංවිධානය අන්තර්ජාතික තලයේ දී පෙනී සිටින බව ගෝලීය දෙමළ සංසදය (Global Tamil forum) ප්‍රකාශ කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංසදය පවසන්නේ මුස්ලිම් මෘත දේහයන් බලහත්කාරයෙන් ආදාහනය කිරීමට එරෙහිව ගෝලීය දෙමළ ඩයස්පෝරාව ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාවට සහාය ලබාදෙන බවයි.

මෙම අතාර්කික හා වෙනස්කොට සැලකෙන රජයේ ප්‍රතිපත්තිය ආපසු හැරවීමට හැකි සෑම බලපෑමක්ම ශ්‍රී ලංකාවට එල්ල කරන ලෙසද ගෝලීය දෙමළ සංසදය සියලු ම රාජ්‍ය නායකයන්ගෙන් විවෘත ඉල්ලීමක් කර තිබේ.

ශ්‍රී ලංකාවේ අනිවාර්ය ආදාහනය කිරීමේ ප්‍රතිපත්තිය මුස්ලිම් සහ ක්‍රිස්තියානි සුළු ජාතික ප්‍රජාවන් අතර කෝපයක් සහ කම්පනයක් ඇති කර ඇත. කොවිඩ් වසංගතයේදී අසාමාන්‍ය ලෙස පීඩාවට පත්ව ඇත්තේ මුස්ලිම් ජනතාව වන අතර ඔවුන්ගේ මූලික ආගමික විශ්වාසයන් උල්ලංඝනය කෙරෙන පිළිවෙත් අනුගමනය කිරීමට ඔවුන්ට බලකිරීම කුරිරු හා අමානුෂික ක්‍රියාවක් යැයි ගෝලීය දෙමළ සංසදය සිය නිවේදනයේ ප්‍රකාශ කර ඇත.

මෙම ප්‍රතිපත්තියේ තවත් ඛේදජනක තත්ත්වයක් නම් සිය සිරුරු ආදාහනය කිරීමට ඇති අකමැත්ත මත මුස්ලිම් පවුල් කීපයක්ම සිය ඥාතීන්ගේ සිරුරු ප්‍රතික්ෂේප කර තිබීම යැයි ප්‍රකාශ කරන ගෝලීය දෙමළ සංසදය සිය සුළුතර ප්‍රජාවන්ට වෙනස් කොට සැලකීම පිළිබඳව ශ්‍රී ලංකාවට දීර්ඝ ඉතිහාසයක් පවතින බවද පෙන්වා දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස