පුදන කොට ම කාපි යකා! සමගි බලේ කුළුඳුල් විධායක සභාව පාඨලී, හකීම්, බදියුදීන්, මනෝ වර්ජනය කරති!

December 21, 2020 at 2:15 pm | by emanisa.lk

සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාව සම්මත කිරීම සඳහා පැවැති විධායක සභාව සාමාජික දේශපාලන පක්ෂ හතරක නායකයන් වර්ජනය කර ඇති බව වාර්තා වෙයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරවෙලදී විධායක සභාව පැවැත්විණි. පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, රවුෆ් හකීම් සහ රිෂාඩ් බදියුදීන් යන පක්ෂ නායකයන් විධායක සභාවට සහභාගි වී නැත.

දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, විද්වතුන් ඉදිරිපත් කළ යෝජනා සැලකිල්ලට ගනිමින් ව්‍යවස්ථාව සකස් කර තිබේ. ව්‍යවස්ථාවට අනුව නායකයා ඇතුළු නිලධාරී මණ්ඩලය 23 ක් වන අතර උප සභාපති ධුර හතරක් හා ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුර හතක් ඊට ඇතුළත් වෙයි. සියලු තනතුරු සඳහා ලබන වසරේ ජනවාරි මාසයේ පැවැත්වෙන පක්ෂ මහ සමුළුවේදී සුදුස්සන් පත්කර ගැනීමට නියමිතය.

කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා සාමාජිකයන් 75 දෙනකු පත් කෙරේ. ජාතික විධායක කමිටුවට සාමාජිකයන් 550 ක් ඇතුළත් වන අතර පක්ෂ නායකයාට විධායක කමිටුවට 50 දෙනකු පත් කළ හැකි බව ව්‍යවස්ථාවේ සඳහන් වෙයි. ආසන සංවිධායකවරුන් පත්කිරීම කළමනාකරණ කමිටුවේ හා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය මත පක්ෂ නායකත්වයට සිදුකළ හැකිය. පක්ෂ නායකයා විසින් කරන සියලු පත්කිරීම් කළමනාකරණ කමිටුවේ අනුමැතිය මත පමණක් කිරීමටද තීරණය වී ඇත.

පක්ෂ නායකත්වයට අත්තනෝමතිකව කිසිවක් කළ නොහැකි අතර බලතල විමධ්‍යගත කිරීමට මෙම ව්‍යවස්ථාවෙන් හැකියාව ලැබුණු බවද සමගි ජන බලවේගය පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස