පාස්කු ප්‍රහාරය එල්ල වුණේ හරියට හැඳුනුම්පත හදලා නොතිබුණු නිසායි! මට බිලියන 40ක් දුන්නොත් මාස තුනෙන් රටේ සුරක්ෂිතභාවය තහවුරු කරනවා! – ඇමති වජිර

June 2, 2019 at 1:19 pm | by admin

උපතේදීම ජාතික හැඳුනුම්පත් අංකය ලබාදීමේ වැඩසටහනක් ඉදිරියේදී රට තුළ ක්‍රියාත්මක කරන බවත් එය රටේ ආරක්ෂාව තහවුරු කරන බවත් අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

දඹුල්ල මහ නගර සභාව යටතේ දිගම්පතන රක්ෂිතයේ ඉදිකළ කසළ ප්‍රතිචක්‍රීකරණ අංගනය විවෘත කිරීමට ඊයේ (01දා) පස්වරුවේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එසේම ශ්‍රී ලංකාව නිසියාකාර හැඳුනුම්පතක් හදා ගැනීමට නොහැකි රටක් බවට පත්ව ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

පසුගියදා බෝම්බ පිපුරූ සිද්ධියේ මියගිය අයට එකම අංකයට නම් දෙකකට හැඳුනුම්පත් නිකුත් කර තිබුණු බවත් ඔහු කීවේය.

නිසියාකාර හැඳුනුම්පතක් සකස් කර ගතහොත් ජාතියක් හැටියට ආරක්ෂාවක් සපයන බවද ඔහු කීවේය.

මින් ඉදිරියට අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි පුද්ගලයකුට උපතේදීම හැඳුනුම්පත් අංකය ලබාදීමේ වැඩසටහන යටතේ උප්පැන්න සහතිකයට ජාතික හැඳුනුම්පත් අංකය ලබා දීම සිදු කරන බව කීවේය.

එසේ ලබා ගන්නා හැඳුනුම්පත හරහා ගමන් බලපත්‍රය, රියදුරු බලපත්‍රය ආදී රජයේ ලියකියවිලි බලපත්‍ර විවිධ අවහිර වීමකින් තොරව ලබා ගැනීමට හැකිවන බවත් ඔහු ප්‍රකාශ කළේය.

තමන්ට රුපියල් බිලියන හතලිහක් රජය ලබා දෙන්නේ නම් මාස තුනක් ඇතුළත රටේ ආරක්ෂාව සුරක්ෂිතභාවය තහවුරු කර රටේ සිදුවන වංචා සියල්ල නවතා නව තාක්ෂණය යටතේ සියලු දෙනා හඳුනා ගත හැකි තැනට කටයුතු කළ හැකි බවත් ඔහු කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස