නාමල් කුමාර ජනාධිපති ලේකම් කාර්යාලයේ පඩිකාරයෙක්! දෙහිවල පාස්කු බෝම්බකරු පුපුරගන්න කලින් බුද්ධි නිලධාරියෙක් හමුවුණා! – පූජිත්

October 12, 2020 at 8:16 am | by emanisa.lk

පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසම හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ වත්මන් ජනපති, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ඝාතනය කිරීමේ සැලසුමක් තිබෙන බව ප‍්‍රකාශ කළ නාමල් කුමාර යන පුද්ගලයා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වැටුප් ගත් පුද්ගලයකු බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි ලබාදෙමින් (09) පැවසීය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ මත්ද්‍රව්‍ය කාර්ය සාධක බළකායේ දේශන පැවැත්වීම සඳහා ද නාමල් කුමාර සහභාගි වී ඇති බවත් ඒ සඳහා ඔහු වවුචර්පත් මගින් මුදල් ලබාගත් බවත් එහි අධ්‍යක්‍ෂ දොස්තර සමන්ත කිතලගම තමා සමග පැවසූ බවත් පූජිත් ජයසුන්දර කොමිසම හමුවේ පැවසීය.

විශේෂ වරප‍්‍රසාද සහිතව රටේ අර්බුද නිර්මාණය කළ නාමල් කුමාර එහි පුද්ගලයන් පිළිබඳව මෙන්ම ආණ්ඩුකාරකම් කරමින් ජනාධිපති උපදේශකයන් ලෙස කටයුතු කළ පුද්ගලයන් පිළිබඳව ද තමන් කොමිෂන් සභාව හමුවේ අනාවරණය කිරීමට සූදානම් බවත් හෙතෙම පවසා සිටියේය.

නාමල් කුමාර මහනුවර සිද්ධියේදී තොරතුරුකරුවකු ලෙස සම්බන්ධ වූ බවත් ඔහුට පොලිස් අරමුදලින් රුපියල් ලක්‍ෂ පහක ත්‍යාග මුදලක් ලබාදුන් බවත් ප‍්‍රකාශ කළ හිටපු පොලිස්පතිවරයා නාමල් කුමාර පිටුපස සිටින අය පිළිබඳව මෙන්ම දෙහිවල ට්‍රොපිකල් ඉන් හෝටලයේ බෝම්බය පුපුරුවා ගත් ජමිල්, එම බෝම්බය පුපුරුවා හැරීමට පෙර හමුවූ බුද්ධි නිලධාරියා ගැන ද සොයා බලන ලෙස ජයසුන්දර මහතා කොමිසමෙන් ඉල්ලා සිටියේය.

තමන් 2019 අපේ‍්‍රල් 14 වැනි දින හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ නිවසින් වතුර වීදුරුවක් වත් නොබිව් බවත් සඳහන් කළ හිටපු පොලිස්පතිවරයා තවදුරටත් සඳහන් කර සිටියේ ඒ මහතාගේ ආරක්‍ෂාව භාරව සිටි අධ්‍යක්‍ෂ රොහාන් සිල්වා සමග ගොස් බුලත් දී මිනිත්තු 10 කින් පමණ එම ස්ථානයෙන් ඉවත් වූ බවයි. ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ පූජිත් ජයසුන්දර සඳහන් කර සිටියේ තමාගේ බිරිඳ ජනාධිපතිවරයාට බුලත්දීමට යෑම ප‍්‍රතික්ෂේප කළ නිසා ඇය එම අවස්ථාවට සහභාගි නොවූ බවයි.

එම අවස්ථාවේදී කොමිෂන් සභාව ඔබ හිටපු ජනාධිපතිවරයා බොරු කියනවා කියලා ද කියන්නේ යනුවෙන් විමසා සිටි අතර ඊට ප‍්‍රතිචාර දක්වමින් පූජිත් ජයසුන්දර මහතා ප‍්‍රකාශ කර සිටියේ හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන පුරුද්දක් විදියට බොරු කියන බවයි. ඒ පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ ජයසුන්දර ප‍්‍රකාශ කර සිටියේ හිටපු පොලිස් පරීක්‍ෂක නිශාන්ත ද සිල්වාගේ ස්ථාන මාරුව සිදුකළ අවස්ථාවේදී මෙන්ම පොලිස් අවුරුදු උත්සවය දවසේදීත් එවැනිම සිදුවීමක් සිදුවූ බවයි. ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ජයසුන්දර ප‍්‍රකාශ කර සිටියේ පාස්කු ප‍්‍රහාරයට පෙර හිටපු ජනාධිපතිවරයා ගුවන්ගත වූ අවස්ථාවේදී තමන් ගුවන් යානයට ගොඩ වූ බවට හිටපු ජනාධිපතිවරයා මෙම කොමිසම හමුවේ සාක්‍ෂි ලබාදෙමින් ප‍්‍රකාශ කළත් තමන් එම අවස්ථාවේදී ගුවන් යානයට ගොඩ නොවූ බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස