දේශපාලකයන්ට පාරවල් වසා ගමන් යාම තහනම් කරයි!

May 22, 2019 at 5:45 pm | by admin

ප්‍රභූ වාහන ගමන් කිරීම සඳහා මහජනතාවට අවහිර වන පරිදි මාර්ග වසා නොදමන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂක අංශවලට උපදෙස් දී ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පැවැති කැබිනට් හමුවේදී ජනාධිපතිවරයා ඒ බව සඳහන් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ප්‍රභූ ආරක්ෂක රථ ගමන් කිරීමේ දී මාර්ග වසා තැබීම හේතුවෙන් මහ ජනතාවට සිදුවන අපහසුතාව සැළකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා එම උපදෙස් දී ඇත.

ඒ අනුව අදාළ ප්‍රභූවරුන්ගේ ආරක්ෂක අංශ නිලධාරින් මේ පිළිබඳ දැනුවත් කරන ලෙසත්, සාමාන්‍ය ජනතාවට කිසිදු අයුරකින් අවහිරයක් ඇති නොවන අයුරින් ප්‍රභූ රථ ධාවනය කිරීමට ඔවුන්ට උපදෙස් නිකුත් කරන ලෙසත් ජනාධිපතිවරයා තවදුරටත් උපදෙස් දී තිබේ.

පසුගියදා ඇමති රුවන් විජේවර්ධන කොළඹ නගර ශාලාව අසල මාර්ගය වසා ගමන් කිරීම නිසා සෙසු වාහනකරුවෝ සිය නළා හඬවමින් විරෝධය පළකළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස