තාවකාලික ඛේදවාචකය නිමා කළ හැකි නායකයෙක් පත් කරනවා! – ආචාර්ය නාලක ගොඩහේවා

July 10, 2019 at 10:24 pm | by emanisa.lk

කෑගල්ල දිස්ත්‍රික් වියත්මග සම්මන්ත්‍රණය (07) අමතමින් ආචාර්ය නාලක ගොඩහේවා පැවැත් වූ දේශනය පහත දැක්වෙයි.

2015 ජනවාරි මස මේ රටේ බල පෙරළියක් වුණා. ඒ බල පෙරළිය වූ වෙලාවේ මේ රටේ ජනතාවගෙන් 62 ලක්‍ෂයක් විශ්වාස කළා රටේ හොඳ පාලනයක් ඇති වෙයි කියලා. නමුත් අවුරුදු අවුරුදු හතරකට පසුව වර්තමානය දෙස බැලීමේදී කිසි කෙනෙක් බල පෙරළියට එකඟ නැහැ කියන මතයේ සිටිනවා. අද මේ බල පෙරළියෙන් ඇති වී තිබෙන්නේ සිව් බියක්. හොරකම, මැරකම, ගැතිකම සහ බැරිකම කියන සිව්බියේ පාලන තන්ත‍්‍රයක් අද ඇති වී තිබෙන්නෙ. ජනතාව සතුටු විය හැකි කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. යහපාලනයට වඩා කලින් පාලනය සම්පූර්ණයෙන්ම වෙනස් කියලා කවුරුත් කල්පනා කරනවා. මහින්ද රාජපක්‍ෂ පාලන කාලය තුළ විශාල වෙනසක් රටේ ඇති වුණා. යුද්ධයක් අවසන් කළා. රටේ ආර්ථිකයේ ප‍්‍රාතිහාර්යයක් පවා සිද්ධ වුණා. 2005 දී මහින්ද රාජපක්‍ෂ මහතා රජය භාර ගැනීමෙන් පසුව 2014 වන විට රටේ විශාල වෙනසක් ඇති කරමින් තිබුණා. එතුමා බලයට ලබා ගන්නා විට රටේ ආර්ථිකය තිබුණේ ඇමරිකානු ඩොලර් බිලියන 20 ක ප‍්‍රමාණයක්. නමුත් ගත වූ වසර නවයක් තුළ ඇමරිකානු ඩොලර් බිලියන 80 ක් දක්වා වර්ධනය වූ ආර්ථිකයක් බවට පත් කළා. සෑම ආර්ථික දර්ශකයකින්ම අපේ රට දකුණු ආසියාවේ පළමු තැනට හෝ දෙවැනි තැනට ඇවිත් තිබුණා. දුප්පත්කම, රැකියා වියුක්තිය අඩු වුණා. රටේ ජනතාවගෙන් සියයට 90 කට විදුලිය, ජලය ලැබී තිබුණා. විදේශීය නියෝජිතයන් පවා කිව්වේ කොළඹ නගරය එකම වැඩපොළක් කියලයි. සෑම තැනකම සංවර්ධන කාර්යයක් සිදුවෙමින් තිබුණා. වත්මන් රජය ඒ තත්ත්වය වෙනස් කළා. මේ ජරාජීර්ණ තත්ත්වයකට රට පත් වුණේ අපේ ජනතාව විසින්ම බලයට ගෙනා යහපාලනය නිසයි. සෑම රජයකට ප‍්‍රතිපත්තියක් තිබෙනවා. එදා ඩඞ්ලි සේනානායක, බණ්ඩාරනායක, ප්‍රේමදාස, මහත්වරුන්ටත් ප‍්‍රතිපත්තියක් තිබුණා. ඔවුන්ගේ දැක්ම එකිනෙකට වෙනස් වුවත් ප‍්‍රතිපත්තියක් තිබුණා. නමුත් වත්මන් රජය දෙස බැලීමේදී කිසිම ප‍්‍රතිපත්තියක් පේන්න නැහැ. මේ කණ්ඩායමට තිබුණේ බලය ගැනීමේ ප‍්‍රතිපත්තිය පමණයි. එහි ප‍්‍රතිඵල තමයි මේ අපි අද අත්විඳින්නේ. මහින්ද රාජපක්‍ෂ මහතාට පැහැදිලි සැලැස්මක් තිබූ නිසයි ඒ ආර්ථිකය සංවර්ධනය ඇති වුණේ. ආර්ථිකය කළමනාකරණය කළා. වරායවල්, ගුවන් තොටුපළ, අධිවේගී, දුම්රිය, මහාමාර්ග මාර්ග සංවර්ධනය වුණේ ඒ නිසයි.

රජයක වගකීම තමයි රටේ සංවර්ධන ක‍්‍රියාවලිය ඉදිරියට ගෙන යෑමයි. නමුත් ඒ වෙනුවට ආණ්ඩුව ආරම්භ කළේ පළිගැනීමේ ක‍්‍රියාවලියයි. හැමදාම විපක්‍ෂයේ කවුරුන් හෝ අල්ලාගෙන ගිහින් මාධ්‍ය සංදර්ශන දැමීම පමණයි කළේ. මේවා දිහා බලලා ජනතාව හිතුවා හොරු අල්ලලා ඉවරලා වෙලා රට සංවර්ධනය කරයි කියලා. නමුත් අදත් මේවා තමයි ක‍්‍රියාත්මක වෙන්නේ. වෙනත් කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ආණ්ඩුව පළිගැනීමේ නිරතව සිටියදී රටේ ආර්ථිකය කඩාවැටුණා. යුද්ධය අවසන් වෙලා 2010 – 2014 කාලයේදී රටේ දළ ආර්ථික සංවර්ධන වේගය සියයට 6.8 ක් දක්වා වර්ධනය වුණා. 2014 දී ආර්ථික වර්ධන වේගය සියයට 7 ට වඩා වැඩි වුණා. ඒ වෙලාවේ චීනයට පමණයි අපි දෙවැනි වුණේ. ඒ වෙලාවේ තිබුණේ මේ රජයට එදා සිට කරගෙන ආ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කිරීම පමණයි. නමුත් ඇත්තටම වුණේ වසරින් වසර ආර්ථිකය කඩාවැටීමයි. 2016 දී සියයට 5යි. 2018 දී සියයට 3.1 කට කඩාවැටුණා. මේ වසර අවසන් වන විට සෘණ නොවුණොත් තමයි පුදුමය. සාමාන්‍යයෙන් රටක ආර්ථිකයේ කැඩපත කොටස් වෙළෙඳ පොළයි. විදේශීය ආයෝජකයන් රටක ආයෝජනය කරන්නේ කොටස් වෙළෙඳ පොළ දෙස බලලයි. අපේ කාලයේ කොටස් වෙළෙඳ පොළට සියයට 200 කින් වර්ධනය වුණා. 2014 දී සමස්ත ආසියාවේ හොඳම කොටස් වෙළෙඳ පොළ විදිහට අපට සම්මානත් හිමිවුණා. මේ වන විට දිගින් දිගටම කඩාවැටෙන දුර්වලතම කොටස් වෙළෙඳ පොළ බවට පත්ව තිබෙනවා. සෑම දේකින්ම පේන්නේ කඩාවැටීමයි. එදා විදේශීය ආයෝජකයන් නොකඩවා ආවා. අද විදේශීය ආයෝජකයන් එන්නේ නැහැ. රනිල් හැමදාම කිව්වේ විදේශීය ආයෝජකයන් එයි කියලා. මේ අය හැමදාම බොරු කිව්වා. රාජ්‍ය ආයතන පාඩු ලැබුවා. මහින්ද රාජපක්‍ෂ රජය වැරදි විදිහට රට පාලනය කරනවා කිව්වා. හොරකම් කළා කිව්වා. මේ රජයේ අදක්‍ෂකම් නිසා රටට සිදුවූ පාඩුව අසීමාන්විතයි. කොළඹ වරාය නගරය ආපු ගමන්ම නතර කළා. රුපියල් බිලියන 26 ක වන්දියක් චීනයට දුන්නා. මේවා කාගේ සල්ලිද? මේවා රටේ ජනතාවගේ මුදල්. මත්තල, හම්බන්තොට, නොරොච්චේලේ බලාගාරය සුදු අලියෙක් කිව්වා. මහින්ද රාජපක්‍ෂ රජය මගින් සිදුකළ ප‍්‍රධාන ව්‍යාපෘතිවලට වැය කළේ රුපියල් බිලියන 580 යි. වත්මන් රජය රුපියල අවකළමනාකරණය කළ නිසා 2018 වසරේ පමණක් රුපියල් බිලියන 800 යි. සුදු අලි ගැන කතා කරන මෝඩ අලින්ට මේවා තේරෙන්නේ නැහැ.

පසුගිය රජයේ භීෂණය, මෙගා ඩීල්ස් ගැන කතා කරලා තමයි මේ අය බලයට ආවේ. අද වන තුරු එක මෙගා ඞීල් අහුවුණාද? මෙගා ඞීල්ස් තිබෙන්නේ යහපාලන රජයේ තමයි. සෑම ආණ්ඩුවකම වැරදි තිබෙන්න ඇති. නමුත් ඒවා පේන්න තිබුණා. කවුරුන් හෝ ව්‍යාපෘතියක් කරන විට කියක් හරි හොයා ගන්න ඇති. ඔවුන් ගත්තා නම් කළේ පේන්න තිබෙන ව්‍යාපෘතිවලින්. නමු.ත් වත්මන් රජය හොරකම් කරන්නේ පේන්නේ නැතිවයි. කිසිම දෙයක් නිෂ්පාදනය කරලා නෙමෙයි හොයා ගන්නේ. මහ බැංකුවෙන් විශාල මුදලක් හොරකම් කලා. මහ බැංකු කොල්ලය දෙපාරක් සිදුවුණා. පළමු හොරකම වුණේ බලය ලබාගෙන දින 50 ක් යන්නත් කලින් සිදුවණේ. ඒකට කිසිම පියවරක් ගත්තේ නැහැ. 2016 දී හොරු ටික ආයෙත් එකතු වෙලා වෙනස් විදිහට තමයි දෙවැනි හොරකම කළේ. මේ අය හොරකම් කළාට රටේ කිසිම සංවර්ධනයක් සිදුකළේ නැහැ. රටේ ජනතාවගෙන් අය කරන බදු ප‍්‍රමාණය සියයට සියයකින් වැඩි කළා. මේ රටේ ආර්ථික අහේනිය පිටුපස තිබෙන්නේ ආණ්ඩුවේ අසීමිත ලෙස බදු වැඩි කිරීමයි. තිබූ රැුකියාවලින් ලක්‍ෂ හතරක් අහිමි වුණා. අලූතින් දෙනවා වෙනුවට තිබූ රැුකියාත් නැති වුණා. මේ රජයන් දෙකෙහි වෙනස මේකයි. දැන් උදාගම් හදනවා. නිවාස සංකීර්ණ වෙනුවට උදාගම් මානසිකත්වයේ මේ අය සිටින්නේ. රට එක පැත්තකින් කඩාවැටෙනවා. අනික් පැත්තෙන් රට ලෝකය ඉදිරියේ දීන නිවට ජාතියක් බවට පත් කරනවා. ක‍්‍රමක් ක‍්‍රමයෙන් රට ඇමරිකානු යටත් විජිතයක් බවට පත්වෙමින් තිබෙනවා. රටේ වැදගත් මර්මස්ථාන විදේශ රටවලට විකුණා දානවා. අන්තිමට අවසානයේ සියලූම වරායන් විදේශවලට දීලා රට මැද සිටින ජනතාව වහලූන් බවට පත් වෙනවා. වැඩ බැරි ආණ්ඩුවක් බලයට ගෙනැත් රටේ ආර්ථිකය පමණක් නොව ජාතික ආරක්‍ෂාවත් අහිමි වෙලා.

දෙපැත්තට කඹඅදින පාලකයන්ගේ මැද්දට රටේ ජනතාව අසරණ වෙලා. මෙතැනින් එළියට යන්න ආණ්ඩුවට කිසිම සැලසුමක් විසඳුමක් නැහැ. අයවැයෙන් නොයෙක් නොයෙක් නම් ඉදිරිපත් කර තිබෙනවා. මේ සෑම ලස්සන නමකම තිබෙන්නේ ණය ගැනයි. මේ විදිහට ගියොත් රටේ ආර්ථිකය ගොඩනඟන්න බැහැ. අපි කරන ආණ්ඩු පෙරළියෙන් පසුව රටේ ආර්ථිකය ගොඩනඟනවා. අපි විශ්වාසයෙන් කියනවා මේ ආර්ථිකය ගොඩනඟන්න අපිට පුළුවන්. මහින්ද රාජපක්‍ෂ රජය නොයෙක් අර්බුද මැද රටේ ආර්ථිකය හතර ගුණයකින් ඉහළ දැම්මා. ආර්ථිකය හැදීමට වඩා සාමාන්‍ය ජනතාවගේ ආර්ථිකය ගැන අවධානය යොමු කරනවා. සෑම තැනකම දරිද්‍රතාවය. ජනතා කේන්ද්‍රීය ආර්ථික ක‍්‍රියාවලියක් අපි නිර්මාණය කරනවා. සෑම කෙනෙක්ටම ජීවත් විය හැකි වටපිටාවක් නිර්මාණය කරනවා. ජාතික ආරක්‍ෂාව සුරක්‍ෂිත කරනවා. ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් බිහි වූ වියත්මග සංවිධානයේ විද්වතුන් රටේ ආර්ථිකය ගොඩනැඟීමේ සැලසුම් සකස් කරලා අවසන්. ඊළඟ ජනාධිපතිවරණයේදී අපේ සැලසුම් රටට ඉදිරිපත් කරනවා. අපේ පළමු ප‍්‍රමුඛත්වය මිලියන 20 ක් වූ මානව සම්පත කළමනාකරණය කිරීමයි. තාක්‍ෂණය භාවිතයෙන් ආර්ථිකය ඉදිරියට ගෙන යන්න පුළුවන්. වංචාව, භීෂණය නැති කරනවා. අපි භීෂණ නැති කරනවා කියලා දේශපාලන පළිගැනීම් කරන්නේ නැහැ. සංස්ථාපිත භීෂණය නැති කළ යුතුයි. රාජ්‍ය ආයතනවල කාර්යක්‍ෂමතාව වැඩි කිිරීමේ සැලසුම් අපි ක‍්‍රියාත්මක කරනවා. නිවැරදි, ශක්තිමත් නායකත්වයක් යටතේ සියලූ සැලසුම් අපි ක‍්‍රියාවට නංවනවා. ඉදිරියේදී රටේ විශාල වෙනසක් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. ශ‍්‍රී ලාංකික ජාතිය යළිත් ලෝකයේ අභිමානවත් ජාතියක් බවට පත් කරන්න අපට අවශ්‍යයි. මේ තාවකාලික ඛේදවාචකය අවසන් කිරීමට හොඳ නායකත්වයක් රටට ඉදිරිපත් කරනවා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස