ගුරු වෘත්තියේ පඩි මදි නම් වෙන රස්සාවක් හොයා ගන්න…! උපාධිධාරීන් 50 000ක් ගුරුකමට එන්න පෝලිමේ ඉන්නවා….!

October 11, 2021 at 9:08 am | by emanisa.lk

ගුරු වෘත්තියෙහි වැටුප් අඩු යැයි කියනා ගුරුවරුන්ට වෙනත් රැකියාවන් සොයා ගැනීමට ඕනෑ තරම් නිදහසක් ඇති බව ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ පවසයි.

“කෙසේ වෙතත් පාසල් පටන් ගැනීම 21 වෙනිදා කරනවා. ඒ සම්බන්ධයෙන් අපේ සංගමයත් අපට සම්බන්ධ හුගක් ගුරු – විදුහල්පති සංගම් තියෙනවා, ඒ අය ඒ වෙනුවෙන් සැදී පැහැදී ඉන්නවා. අපි අපේ ගුරුවරුන් විදුහල්පතිවරුන් දැනුවත් කරලා තියෙනවා පාසල් 21 පටන් ගන්නවා නම් ඒ සඳහා අවශ්‍ය ඉගෙනුම් ඉගැන්වුම් ක්‍රියාවලියට අදාළ ලෙස පරිසරය සකස් කරන්න කියලා. ඒක වෙමින් යනවා.

සමහර අන්තවාදී ගුරු සංගම් මේ සම්බන්ධයෙන් විවිධ බලපෑම්, තර්ජන කරනවා. විවිධ විදියට ගුරුවරුන් මානසිකව වට්ටන්න විවිධ පීඩනයන්ට ලක් කරන්න සමාජ මාධ්‍ය ජාල හරහා කටයුතු කරමින් සිටිනවා. ඒ සම්බන්ධයෙන් අපි පොලිසිය සහ ආරක්ෂක අංශ දැනුම්වත් කරලා තියෙනවා. අපට පුළුවන් 21 පාසල් පටන් ගන්න. අපි ඒ යුතුකම දරුවො වෙනුවෙන් කරනවා.

යම්කිසි හේතුවක් නිසා යම්කිසි අයෙක් මේවාට බලපෑම් කරනවා නම් කඩාකප්පල් කරන්න උත්සාහ කරනවා නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න නීතිමය ක්‍රියාමාර්ග තියෙනවා. අපි අධ්‍යාපන අමාත්‍යාංශයට කියනවා ඒ නීතිමය ක්‍රියාමාර්ග අනුව කටයුතු කරන්න කියලා. මොකද වෘත්තීය සමිතියක් කියන්නෙ අයිතිවාසිකම් වගේම යුතුකම් ගැනත් කතා කරන්න ඕනෙ. යුතුකම් පැහැර හරිමින් තමන්ගෙ අයිතිවාසිකම් කතා කරනවා නම් ඒ අය සම්බන්ධයෙනුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ ආයතන සංග්‍රහයේ විධිවිධාන යොදලා තියෙනවා, ඒ අනුව කටයුතු කරන්න.

කාට හරි මේකෙ පඩි අඩුයි හරි, එහෙම වැටුප් ගැනම ඉල්ලලා ඒ මත්තෙම ඉන්නවා නම් දරුවො ගැන හිතන්නෙ නැත්නම් ඒ අයට වෙනත් රැකියාවල් තෝරාගන්නත් නිදහස ඕනෙ තරම් තියෙනවා. ඕනෙ තරම් උපාධිධාරීන් ඉන්නවා මේ වෙනකොට මේ ක්ෂේත්‍රයට එන්න, වැටුප් අඩුවුණත් මේ ක්ෂේත්‍රයට එන්න දැන් උපාධිධාරීන් 50,000ක් පොරකනවා. 18,000ක් බඳවා ගන්නෙ ඒකට ඇතුළු වෙන්න ඔය ඔක්කොම කෑගහන වෘත්තීය සමිතිවල අය තමයි පොරකන්නෙ ඒ 18000 පත්කරගන්න. වැටුප් අඩු නම් ඇයි මේ ගුරු වෘත්තියට මේ තරම් ඉල්ලුමක් තියෙන්නෙ”

ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ මේ බව පැවසුවේ ඊයේ (10) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස