ක්‍රීඩා ජයග්‍රහණයේ කොටසක් දේශපාලකයින් ගත් යුගය නිමා කළා…! – ජනපති…

September 17, 2022 at 3:47 pm | by emanisa.lk

ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානක ඇතුළු කණ්ඩායම ආසියා කුසලානය දක්වා ඉදිරියට යාමට අතීත පරාජයන් ශක්තියක් කරගත් බවත් රටක් ලෙස එලෙස සිතනවා නම් ලංකාව ලෝකය ඉදිරියේ ජයග්‍රහණය කරවීම අසීරු කාර්යයක් නොවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

කණ්ඩායමක් ලෙස සාමුහිකව කටයුතු කිරීම ලාංකික ආසියා සූරයින්ගේ ජයග්‍රහණයට ඉවහල් වු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේ ආසියානු කුසලාන 20යි විස්ස ක්‍රිකට් ශූරතාව සහ දොළොස්වන ආසියානු දැල්පන්දු ශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම් දෙක සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රිඩාවලියේ පදක්කම්ලාභින් ඇගයීම වෙනුවෙන් කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේ පැවැති උත්සවය අමතමිනි.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ ඉල්ලීම මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය සහයෝගය සංකේතවත් කරමින් ආසියානු ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ සාමාජිකාවන් සඳහා එක් ක්‍රීඩිකාවකට රුපියල් මිලියන 02 බැගින් සහ පුහුණුකරුවන් දෙදෙනෙකු සඳහා රුපියල් මිලියන 02 ක බැගින් පිරිනැමීම මෙහි දී සිදු කෙරිණි.

බ්‍රිතාන්‍යයේ බර්මින්හැම් නුවර පසුගියදා පැවැති 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදි ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් 4ක් දිනා ගත් ක්‍රීඩකයන්ට ද මෙහිදී ත්‍යාග පිරිනැමීය.

මාතෘ භූමිය ආසියාවේ ඉහළින්ම ඔසවා තැබු සියලු ක්‍රිඩක ක්‍රීඩිකාවන්ට සිය ප්‍රණාමය පුද කළ ජනාධිපතිවරයා ක්‍රීඩාවේ ජයග්‍රහණයේ කොටසක් දේශපාලනයට ලබාගත් යුගය තමන් නිමා කළ බවත් මෙවර 200% ක්ම ජයග්‍රහණය ඊට කැපවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු සියලු දෙනා හිමි වන බවත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *