ඖෂධ සංස්ථා සභාපති ඉවත් කළේ අක්ෂි කාච වංචාව නිසයි…!

August 17, 2023 at 7:14 am | by emanisa.lk

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති නීතීඥ සරත් ලියනගේ ඉවත් කිරීමට ආණ්ඩුවට සිදුවූයේ එහි දූෂණ හෙළිදරව් කරමින් අරගල කළ නිසා බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.

“රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති නීතීඥ සරත් ලියනගේ එම තනතුරෙන් ඉවත් කර ඇති බව අද උදෑසන වාර්තා වුණා. ඔහුට ඉල්ලා අස්වන ලෙස පවසා ඇත්තේ ඖෂධ මිලදී ගැනීම්වලදී සිදුකෙරුණු විශාල වංචා ප්‍රමාණයක් නිසා බව වාර්තා වී තිබෙනවා. ඔහු සම්බන්ධයෙන් මීට පෙර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම, විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම, පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව සහ KPMG වැනි විඝණන ආයතනවල වාර්තා විවිධාකාර දූෂණ චෝදනා එල්ල කළා. වසර ගණනක් තිස්සේ මේ වාර්තා සියල්ල කුණු කූඩයට දමන තරමේ දේශපාලන රැකවරණයක් ඔහුට තිබුණා. ඒත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ තීරණයට හේතුවී තිබෙන ආසන්නතම හේතුව අප විසින් හෙලිදරව් කළ අක්ෂි කාච මිල දී ගැනීමේ අක්‍රමිකතාව.

පසුගිය අප්‍රේල් මාසයේ ඖෂධ නීතිගත සංස්ථාව හරහා අක්ෂි කාච ලක්ෂයක් මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳෙව්වා. එහිදී ඒ සියල්ල සඳහා එකට ටෙන්ඩර් කැඳවීම වෙනුවට අමාත්‍යාංශ ප්‍රසම්පාදන කමිටුව හරහා කාච 18,000ක් මිලදී ගැනීමේ ටෙන්ඩරයක් සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා කාච 82,000ක් කොටස් කර මිල දී ගැනීමේ ටෙන්ඩර් 8ක් ලෙස ටෙන්ඩර් 9ක් කැඳෙව්වා. සංස්ථාවේ ටෙන්ඩර්වලදී සිදුව ඇති අක්‍රමිකතා රාශියක් අපි හෙළිදරව් කළා.

ටෙන්ඩර් තැන්පතු චෙක්පත්වලින් ලබාදීම, අගරු චෙක්පත් ලබාදුන් සමාගම්වලට එරෙහි පියවර නොගැනීම, එක්සත් රාජධානියේ සමාගමක් ලෙස ව්‍යාජ තොරතුරු ලබාදී ඉන්දියාවේ සමාගමකින් කාච මිලදී ගැනීම වැනි ප්‍රශ්නකාරී සිදුවීම් රැසක් තිබුණා. අප ඉදිරිපත් කළ චෝදනා නිවැරදි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවා පිළිගෙන තිබෙන බව ඖෂධ සංස්ථාවේ සභාපතිවරයා ඉවත් කිරීමෙන් පැහැදිලියි.

නමුත් නිදහස් සෞඛ්‍ය සේවය විනාශ කරන්නේ තනි නිලධාරියෙකු නෙවෙයි. මේක දේශපාලනඥයන්, ඉහල පෙල රාජ්‍ය නිලධාරීන් සහ ගජමිතුරු චෞර ව්‍යාපාරික වළල්ලක් එක්ව ක්‍රියාත්මක වන ජාලයක්. මේ චෞර ජාලය එක් පුද්ගලයෙකු බිලිදී ඇඟ බේරා ගැනීමට සැරසෙනවා. ජනතාව එයට ඉඩ නොදිය යුතුයි. රෝගී ජීවිත මරු කටට යවන, මහජන අරමුදල් කාබාසිනියා කරන, නිදහස් සෞඛ්‍ය සේවය මරා දැමීමට සැරසෙන මේ විනාශකාරී ජාලයම පරදවන තුරු අරගලය ඉදිරියට ගෙන යා යුතුයි. ඒ සඳහා සංවිධානාත්මක බලයක් ගොඩ නගන්න අපි හැම දෙනාටම ආරාධනා කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ ආකාරයේ සුළු තීරණයක් වුවත් ගැනීමට සිදුවුණේ නිහඬව, නිවටව නොසිට හඬ නැගූ නිසා. අරගලයෙන් තොර ජයග්‍රහණයක් නෑ. එය යලිත් ඔප්පු වී තිබෙනවා.”

ඊයේ (16) එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක දී පුබුදු ජයගොඩ මෙසේ ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස