ඇස් ගිළුණු නින්ද නොයන නායකයෝ වැඩක් නෑ! ලෝක බලවතුන් ඉදිරියේ දණ නොනමන ත්‍රස්තවාදයට එරෙහි සංස්කෘතික මිනිසෙක් ජනපති විය යුතුයි! – ඩලස් අලහප්පෙරුම

June 25, 2019 at 9:13 pm | by emanisa.lk

ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සඳහා අවස්ථාව අහිමි කළ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම නව ජනාධිපතිවරයාගේ පළමු වගකීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ 24 වැනිදා පැවති මාධ්‍ය හමුවේ දී හෙතෙම වැඩි දුරටත් මෙසේ පැවසීය.

“අගෝස්තු මස 11 වැනිදා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහා සමුළුවේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙන්ම මෙරට සියලූම ප‍්‍රගතශීලී, දේශප්‍රේමී, ජාතික, ඇතුළු සියලූ බලවේග නියෝජනය කරන අපේක්‍ෂකයා රටට දැනුම් දීම තව දුරටත් රහසක් නෙමෙයි. මෙම මහා සමුළුවෙන් පසුව 12 වැනිදායින් පසුව ආරම්භ වෙනවා ආණ්ඩුවේ ගමන අවසන් කිරීමේ දින 100 වැඩපිළිවෙළ.”

“පසුගිය දින කිහිපය තුළ ජනාධිපති අපේක්‍ෂකත්වයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ඌරුවරිගේ වන්නිලඇත්තන් සහ රාජිත සේනාරත්නටත් රුචිය තිබෙන බවට දැකගත හැකි වුණා. මේ වන විට බොහෝ දෙනෙක්ට ජනාධිපති අපේක්‍ෂක නාමලේඛනයට තම ඇතුළත් කර ගැනීමේ කුමන හෝ රෝගයකින් පෙළෙන බව පේනවා. දැන් ජනාධිපති අපේක්‍ෂක නම්, කණ්ඩායම් යෝජනා රැසක් කරළියට ඇවිත් තිබෙනවා.”

“මීළඟ ජනාධිපතිවරයා විය යුත්තේ කවුරුන්ද? නිසැකයෙන්ම ලෝක බලවතුන් ඉදිරිපිට දණ නොගසන නායකයෙනක් විය යුතුයි. අන්තවාදයට, ත‍්‍රස්තවාදයට එරෙහිව කොන්දේසි විරහිතව සටන් කළ හැකි බියනැති නායකයෙක් විය යුතුයි. දරුවන්ට ආදරය කරන සංස්කෘතික මිනිසෙක් විය යුතුයි. 21 වැනි ශත වර්ෂයට ඔබින, උචිත දැනුමින් පිරි නායකයෙක් විය යුතුයි. සියලූම ජනවාර්ගික කණ්ඩායම්වලට මේක මගේ රට කියන රටක් හදන නායකයෙක් විය යුතුයි. එහෙම නැතුව ඇස් ගිලිලා තිබෙන, මහන්සි පාට, නිදා යන්නේ නැති කෙනෙක් රාජ්‍ය නායකයෙක්ට ගැළපෙන ලක්‍ෂණ නෙමෙයි.”

“පාස්කු ප‍්‍රහාරයෙන් ඒ ගැන කැළඹිලා, පශ්චත්තාපයෙන්, සංවේගයෙන් ජනතාව සිටින විට ඒකට මුවාවෙලා ආණ්ඩුව බරපතල තීන්දු කිහිපයක් ගත්තා. වරායේ නැගෙනහිර පර්යන්තය විකුණා දැම්මා. සමෘද්ධිය මුළුමණින්ම දේශපාලනීකරණය කළා. පැල්වත්ත සහ සෙවණගල රාජ්‍ය සීනි සමාගම් ආණ්ඩුවේ දේශපාලනඥයන්ගේ සාක්කුවලට දෙන්න අවශ්‍ය පනත් සම්මත කර ගත්තා. පාස්කු ප‍්‍රහාරයට මුවාවෙලා රාජ්‍ය ඔත්තු සේවාවන් නිරුවත් කළා. එළිදරව් කළා.”

“රාජ්‍ය බැංකු පෞද්ගලීකකරණය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරමින් ඉන්නෙත් මේ කාලයේදීයි. මාධ්‍ය දඩයම් කිරීමට පනත් සකස් කරමින් සිටිනවා. කිසිම ආණ්ඩුවක් නොගෙනා පනතක් ගේන්න හදනවා අසත්‍ය තොරතුරු ප‍්‍රචාරය කරන මාධ්‍යවේදීන්ව සිරගත කරන්න, දඩයකට යටත් කරන්න. විපක්‍ෂයේ මැදිහත් වීම නිසා ප‍්‍රතිත්‍රස්ත පනත ගේන්න බැරි වුණා. දැන් හදනවා වෙනම ආකාරයකින් පනත් ගේන්න.”

“ආණ්ඩුවේ දුර්වලකම පිළිබඳ විවිධ කාරණා එළියට ඇවිත් තිබෙනවා. 19 වැනි සංශෝධනය මේකට වගකියන්න ඕන කියා ජනාධිපති ප‍්‍රකාශ කරනවා. අද කැබිනට් මණ්ඩලය කියන කිසිම දෙයක් කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. අපේ මැතිවරණ ක‍්‍රමය තමයි දේශපාලන අස්ථාවරත්වයට හේතුව.”

“සමානුපාතික මැතිවරණ ක‍්‍රමය මුල් වරට හඳුන්වා දුන්නේ 1988 පළමු මහ මැතිවරණයෙන්. 88 මහ මැතිවරණයෙන් පසුව 2015 අගෝස්තු මැතිවරණය දක්වා මැතිවරණ හතක් පවත්වා තිබෙනවා. ඉන් මැතිවරණ පහකින්ම ආවේ සුළුතර ආණ්ඩු. ඒ නිසයි පාර්ලිමේන්තුවේ සිටින නාස්තිකවාදීන්ට දණ නමන්න වෙලා තිබෙන්නේ.” “

ලංකාවට පළාත් සභා හඳුන්වා දුන්නේ උතුරු නැගෙනහිරටයි. දැන් ඒ දෙක පළාත් සභා නැතිවයි ක‍්‍රියාත්මක වෙන්නේ. මේ රටේ දේශපාලන අස්ථාවරත්වයට හේතුවන මැතිවරණ ක‍්‍රමය වෙනස් කරනවා. ඊළඟ ජනාධිපතිවරයාගේ පළමු වගකීම වෙන්නේ මේ මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීමයි. ඒ ගැන සැකයක් ඇති කරගන්න එපා.”

චමින්ද කරුණාරත්න

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස