අවුරුදු සමයේ 15 දෙනෙකු ඝාතනය කරයි!

April 18, 2019 at 10:15 am | by admin

අලුත් අවුරුදු සමය තුළ වාර්තා වූ ඝාතන සිද්ධීන් 13කින් පුද්ගලයන් පහළොස් දෙනෙකු මියගොස් ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

පසුගිය 11 වැනිදා සිට අද (17දා) දිනය දක්වා කාලය තුළ සිදුවූ මෙම ඝාතන සිද්ධීන්වලට අමතරව ගෝනගංආර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමක් නිසා පුද්ගලයෙකු තුවාල ලබා තිබෙන අතර, කඹුරුපිටිය ප්‍රදේශයේ සිදුවූ ඇසිඩ් ප්‍රහාරයක් නිසා කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 09 දෙනෙකු තුවාල ලබා රෝහල්ගතකර ඇත.

පසුගිය 13 වැනිදා සෙවණගල වගා ඉඩමක තිබූ වාඩියක රැඳී සිටි පුද්ගලයන් දෙදෙනෙකුද කපාකොටා ඝාතනය කර තිබේ.

14 වැනිදා හුංගම ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු අතර සිදු වූ බහින්බස්වීමකදී පහරදීමෙන් එක් පුද්ගලයෙකුද, නොච්චියාගම ප්‍රදේශයේ සිදුවූ බහින්බස්වීමක් දුරදිග ගොස් සිදුකළ පහරදීමකින් තවත් පුද්ගලයෙකුද මියගොස් තිබේ.

16 වැනිදා කහවත්ත ප්‍රදේශයේදී කාන්තාවක් තම මවට හා පියාට පොල්ලකින් පහරදීම නිසා මව මියගොස්, පියා රෝහල්ගතකර තිබේ.

එමෙන්ම 15 වැනිදා හිඟුරක්ගොඩ ප්‍රදේශයේදී ස්වාමිපුරුෂයෙකු සිදුකළ පහරදීමක් නිසා ඔහුගේ බිරිඳ මියගොස් ඇත.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී සිදුවූ පහරදීමක් නිසාද පුද්ගලයෙකු මියගොස් තිබෙන අතර, 14 වැනිදා මහඔය ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යෑම නිසා සිදුකළ පහරදීමකදී එක් පුද්ගලයෙකු මියගොස් තිබේ.

15 වැනිදා ඉපලෝගම ප්‍රදේශයේදී සිදුවූ පහරදීමක් නිසා පුද්ගලයෙකු මියගොස් තිබෙන අතර, කොලොන්න ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි පිරිසක් සිදුකළ පහරදීමක් නිසා පුද්ගලයෙකු මියගොස් තිබේ.

කුලියාපිටිය ප්‍රදේශයේදී සිදුවූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් සිදුකළ පහරදීමකින්ද පුද්ගලයෙකු මියගොස් ඇත. මේ ආකාරයේම සිදුවීම් හේතුවෙන් සෙසු පිරිස් ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

ඝාතනය කිරීම් හා තුවාලසිදු කිරීම් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇතැයිද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *