අපේක්ෂා රෝහලට ගන්න කෝටි 100ක් ඉල්ලන ලීනියර් යන්ත්‍රයක් අවුරුදු 4ක් තිස්සේ කරාපිටිය රෝහල් කාමර මූල්ලක! 2014 යන්ත්‍රයට කෝටි 15ක ගොඩනැගිල්ලකුත් හදලා! යහපාලන ආණ්ඩුවට තවම විදුලි බලය දෙන්න බැරිවෙලා!

April 20, 2019 at 3:38 pm | by admin

දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා අද (20) ගාල්ල කරාපිටිය රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවට එක්විය. එහි දී ඔහු කළ විමසීමක දී හෙළි වූයේ, පිළිකා රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය රු. කෝටි 35 ක ලීනියර් ඇක්සලරේටර් (රේඛීය ත්වරණ යන්ත්‍රිය) වසර 4 ක් ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රයෝජනයට නොගෙන ගබඩා කොට ඇති බවය. යන්ත්‍රය සවි කිරීම සඳහා තවත් රු. කෝටි 15 කට වැඩි මුදලක් වැය කොට අංග සම්පූර්ණ ගොඩනැගිල්ලක් සදා නිමකර ඇති නමුත් එයට තවමත් විදුලි සැපයුම ලබාදී නොමැතිකම හේතුවෙන් මෙම යන්ත්‍රය සවි කිරීමට නොහැකි වී ඇති බව කරාපිටිය රෝහල් අධ්‍යක්ෂවරයා පවසයි.

2014 නොවැම්බර් මස මෙම යන්ත්‍රය කරාපිටිය රෝහලට ලැබී ඇති අතර යන්ත්‍රය සවි කිරීම රු. කෝටි 15 ක වියදමින් විශේෂයෙන් සකස් කළ ගොඩනැල්ලේ කටයුතු ද ඒ වන විට අවසන් වී ඇත. නමුත්, අද දක්වාම මෙම යන්ත්‍රය සවිකර රෝගීන්ට ප්‍රතිකාර ලබාදී නැත. ඒ විදුලි බල සැපයුම නොමැති නිසාය.

කරාපිටිය රෝහල විසින් ගෙවිය යුතු හිග විදුලි බිලක් හේතුවෙන් ගොඩනැගිල්ලට විදුලි සැපයීම ලබා දිය නොහැකි වූ බව විදුලිබල මණ්ඩලයේ දිසා ඉංජිනේරුවරයා පවසයි. ආණ්ඩුකාර තෙන්නකෝන් මහතා විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ මහතා වෙතින් ඉල්ලා සිටියේ වහාම මෙම ගොඩනැගිල්ලට විදුලි බලය බලා දීමට කටයුතු කරන ලෙසයි. එමෙන්ම, හදිසි හා අත්‍යවශ්‍ය කටයුත්තක් බැවින් ද, ඇස්තමේන්තුගත රු. මිලියන 4 ක මුදල් හුවමාරුව සිදු වන්නේ රාජ්‍ය ආයතන දෙකක් අතර වන බැවින් ද, වහා ට්‍රාන්ස්ෆෝමරයක් සවිකොට එම ස්ථානයට විදුලිය ලබා දෙන ද, මුදල් ගෙවීම අමාත්‍යාංශ මට්ටමින් සම්බන්ධීකරණය කරන ලෙස ද උපදෙස් දුන්නේය.

නිරීක්ෂණ චාරිකාවෙන් පසුව අදහස් දැක්වූ ආණ්ඩුකාර තෙන්නකෝන් මහතා පැවසූවේ වසර 4 ක් යන්ත්‍රය ගබඩාවේ තිබිය දී, මේ රටේ ජනතාවට තවත් යන්ත්‍රයක් ගන්නට මහ පාරේ සල්ලි හොයන්නට සිදුව ඇති බවයි. දකුණු පළාතට පමණක් නොවෙයි, සබරගමුව, ඌවටත් ප්‍රතිකාර කිරීමේ හැකියාව මේ යන්ත්‍රයට තිබෙනවා. නමුත්, එය වසර 4 ක් සවි කර ගැනීමට නොහැකි වී තිබෙනවා. මෙය ඛෙදවාචකයක්.

මේ යන්ත්‍රය සවිකිරීම සදහා වායු සමනය කිරීම අනිවාර්යයෙන්ම සිදු විය යුතුයි. විදුලිය නොමැතිව යන්ත්‍රය සවිකරන්නට බැහැ. ඉදිරි සතිය තුල විදුලිබලය ලබාදීමට කටයුතු කරන බවට විදුලිබල අමාත්‍යාංශයේ හා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් පොරොන්දු වුණා. කරාපිටිය රෝහල පළාත් සභාවට අයත් නොමැති වුනත්, ප්‍රතිකාර නොමැතිව මිය යමින් සිටින්නේ දකුණු පළාතේ මිනිස්සුන්. අප වහා මේ තත්වය වෙනස් කළ යුතුයි. කවුරුන් සිදු කලත් මෙය මහා අපරාධයක්. අපගේ රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව හෙළි කරන සිදුවීමක් බව පැවසිය යුතුයි.

විදුලිබලය ලබා ගැනීමට මාස ගණනාවක් ලිපි හුවමාරුවී ඇති බව තමන් නිරීක්ෂණය කළ බව ප්‍රකාශ කළ ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා, මේ පිළිබද දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ දී අවස්ථා ගණනාවක දී සාකච්ඡා කර ඇති නමුත්, ඒ සියලු සාකච්ඡා ප්‍රතිඑල විරහිත කථා සාප්පුවලට පමණක් සීමා වී ඇති බව ද ප්‍රකාශ කළේය.

මාධ්‍ය ඒකකය/දකුණු පළාත් ආණ්ඩුකාරවර කාර්යාලය
2019 අප්‍රේල් 20

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස