අපි ආවේ ගෝඨා එළවන්න විතරයි…! රනිල් එක්ක පාටි දාන එක අපේ අයිතියක්..! අපි නැත්නම් අරගලයකුත් නෑ…! රනිල්ගේ නීතීඥවරු යුද්ධ ප්‍රකාශ කරති…

December 5, 2022 at 2:08 pm | by emanisa.lk

මම නීතිඥවරියක්. මගේ සැමියාත් නීතිඥවරයෙක්. මට මගේ වෘත්තීය ගැන හැමදාම තිබුනෙ සාඩම්බරයක්. නීතිඥ වෘත්තිය රස්සාවකට එහා ගිය ඉතා පැරණි සම්ප්‍රදායන් නඩත්තු කරන ගෞරවනීය තානාන්තරයක් ලෙසයි මා දුටුවේ.

ඊයේ පැවතුනා උත්සවයක්. මම මගේ අවුරුදු 22ක වෘත්තීය ජීවිතයේ එවැනි උත්සව සිය ගණනකට ගොස් ඇති. නීතිඥවරුන් එකතුවන උපචාරානුකූල (formal) සාද මට්ටමේ උත්සව බහුලයි. නීතිඥවරුන් සාද සඳහා සුප්‍රසිද්ධයි. ඔවුන්ගේ සාද බොහෝ විට සාම්ප්‍රදායික ඉහළ පැලැන්තියේ සාද ආකෘතිය නඩත්තු කළා.

ආරාධනා මත සහ/හෝ ටිකට් මිලදීගෙන සහභාගී වන උත්සව කොළඹ නීතිඥ ප්‍රජාවට ආගන්තුක නෑ. ඒවා ඔවුන්ගෙ වෘත්තීය ජීවිතයේ කොටස්. ඉතිහාසය පුරාම එහෙම උත්සව තිබුනා. කට්ටිය ඒවට ගියා. ෆොටෝ ගැහුව. සමහරු මුහුනු පොතේ දැම්ම. උත්සවය ඉවර වෙලා ගෙදර ගියා. එච්චරයි.
ඒත් ඊයේ උත්සවයට සහභාගී වූ නීතිඥවරුන් උදේ ඇහැරී බලන විට අපෘෂ්ඨවංශිකන් බවට පත් කරලා. ද්‍රෝහියො කරලා. ඉතාම පහත් මට්ටමේ ප්‍රකාශ ඔවුන්ට විරුද්ධව මුහුනු පොතේ බිත්ති උඩ අතුරල.

කවුද මේව කරන්නෙ? සහෝදර වෘත්තීය සමාජිකයො. උගත් මිතුරො. කොහොමද ගහන්නෙ?
දැනුවත්ව, හිතා මතා කරුණු සඟවල. කුමක් සඳහාද? බංකොලොත් දේශපාලනය සඳහා.

දැන් මේ රටේ තියනව අලුත් ගැහිල්ලක්. තමන්ට එකඟ නොවන වෙනස් දේශපාලන සමාජීය හැසිරීම් සහ මතිමතාන්තර දරන මිනිස්සුන්ට ගහන එක දැන් මෝස්තරයක්. කිසිදු සදාචාරාත්මක සීමා නොතකා කිසිදු ශික්ෂණයක් නැතුව අව්‍යක්ත භාෂා භාවිතයක් සහිතව තමයි මේ ගැහිල්ල සිද්ද වෙන්නෙ.

ඒකෙම දිගුවක් තමයි මේ මුහුනු පොතේ ඇතැම් වෘත්තීය සගයන්ගෙ හැසීරීමත් ඊයේ පැවතුනු උත්සවය සම්බන්ධයෙන්. මේ උත්සවයට නීතිඥ සංගමයේ සම්බන්ධයක් නෑ මම දන්නා තරමින්. මේක සංවිධාන කමිටුවකින් කළ උත්සවයක්. ප්‍රවේශ පත්‍ර නිකුත් කරල තිබුන. සාමාන්‍යයෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් මේසය මිලදීගෙන තමා කැමති අයට ආරාධනා කිරීමයි මෙවැනි උත්සව වල සම්ප්‍රදාය. පෝස්ට් පල කළ අය මේවා නොදන්නවා නොවෙයි. එහෙත් මේවා නොදන්නා සාමාන්‍ය ජනතාවට මවා පාන්නේ වෙනත් චිත්‍රයක්.

රටේ ජන අරගලයක් පවතින විට මා එයට සහය දුන්නා. ඒ ගැන කිසිදු පසුතැව්ල්ලක් හෝ ලැජ්ජාවක් මට නැහැ. අරගලය විවේචනය කළ යුතු තැන්වල මා එයද කළා. මම ඊයේ මේ උත්සවයට සහභාගී උනා. ඒ ගැනද කිසිදු පසුතැව්ල්ලක් හෝ ලැජ්ජාවක් මට නැහැ. මේ මගේ සාමාන්‍ය ජීවිතයයි. මට එහි කිසිදු විශේෂත්වයක් නැහැ.

තමන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ඉතාම පහත් නින්දිත ප්‍රකාශ ප්‍රසිද්ධ කරමින් තමාගේ වෘත්තීයත් වෘත්තීය සගයනුත් හෑල්ලුවට ලක් කරන මගේ සහෝදර නීතිඥවරුන්ගෙන් මට අසන්නට ඇත්තේ මෙපමණයි. කලක් අපි වටුකුරුලු රංචුවක්ව සිටියා. එවිට අපි දැල ඔසවාගෙන ගියා මතකද?
අරගලයට නීතිඥවරුන් සාමූහිකව දැක්වූ සහය නොවන්නට එය ලත් තැනම ලොප් වන්නට තිබුනා නොවේද?

මිරිහාන සහ ගංගොඩවිල උසාවිය මතකද? එහි සිටියේ අපෘෂ්ඨවංශිකන්ද? එහි සිටියේ එක දේශපාලන පක්ෂයක ගැත්තන්ද? නීතිඥවරුන් ගෝල්ෆේස් ගියේ අසුවල් අසුවල් පක්ෂයට බලය අල්ලාගන්න සහය වෙන්නද? තිබූ එකම පොදු එකඟතාවය ගෝටාගෝහෝම් නොවේද? ඉන් එහා මෙහා බලාපොරොත්තු පෞද්ගලිකයි නොවේද? මේ රටේ අන්මතයක් දැරීම ද්‍රෝහි කමක්ද?
තමන්ගේ මුදලින් තමන් කැමති උත්සවයකට සහභාගී වීම නිර්ලජ්ජිත ක්‍රියාවක්ද? මෙවැනි මත දරන්නන් දිනෙක තනන දේශය කවරාකාර වේද?

(මේ උත්සවයට සහභාගීවූ උදවිය මහා අපරාධකරුවන් පිරිසක් බවට පත් කර ඇති බැවින් මම ඔවුන්ගේ පෞද්ගලිකත්වය සලකා උත්සවයේ පින්තූර ඇමිණීමෙන් වලකිමි. මටත් රෙෂාන්ටත්
උලත් එකය. පිලත් එකය. ගංගොඩවිලත් එකය. ගෝල්ෆේස් එකත් එකය. ෂැංග්‍රිලාවත් එකය. කොතෙන්ටත් අපි ගියේ එකටය.)

නීතීඥ අජානා රණගල…

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස