NMRA දත්ත මැකීම පිටුපස ඖෂධ ජාවාරම්කරුවන්…? සමාගම් ඉංජිනේරුවා නිවසේ සිට කමාන්ඩ්ස් ලියා දත්ත මකලා…! – CIDයේදී සියල්ල වමාරයි…

September 29, 2021 at 9:09 am | by emanisa.lk

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකියාම සම්බන්ධයෙන් එම දත්ත පවත්වාගෙන ගිය එපික් ලංකා ටෙක්නොලොජීස් ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද (28) පෙරවරු 11.00 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් දිවුලපිටියේ, වැල්ලපිට පිහිටි සිය නිවසේ දී මෙම මෘදුකාංග ඉංජිනේරුවරයා අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරිම්වලදී අනාවරණ වී ඇත්තේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීම සඳහා තමා විසින් විශේෂ විධානයක් සකස් කර එම දත්ත මකා දමා ඇති බවය.

දත්ත මකා දැමූ දින විධානය යොමුව තිබූ IP අංකය සහ සැකකාර මෘදුකාංග ඉංජිනේරුවරයාගේ පරිගණකයේ IP අංකය සමාන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

එමෙන්ම පරීක්ෂණවලදී වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ එම සැකකාර ඉංජිනේරුවරයා නිවසේ සිට දත්ත මකා දැමීම සඳහා අදාළ විධානය සකස් කර ඇති බවය.

මූලික ප්‍රශ්න කිරීම්වලදී අත් වැරදීමකින් එම විධාන යොමු කළ බව එම ඉංජිනේරුවරයා ප්‍රකාශ කළ ද පසුව කළ පරීක්ෂණවල දී එය එසේ නොවන බව හෙළිව ඇතැයි පොලිීසිය සඳහන් කළේය.

කුමන අරමුණකින් එම දත්ත මකා දැමීම සිදුකළේ ද යන්න පිළිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරයි.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ උපදෙස් මත ඩිජිටල් සහ වෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපතිවරයා විසින් අද පෙරවරුවේ සැකකාර ඉංජිනේරුවරයා අත්අඩංගුවට ගත් අතර ඔහු අද (29) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස