අනුර දිසානායක ප්රමුඛ ආණ්ඩුව තමන්ට සමගාමීව පැවතිය හැකි යැයි උපකල්පනය කරන ඓතිහාසික උරුමයක් වන ශාසනය බිඳ දැමීමේ සැලසුමක් දියත් කර ඇතැයි උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර, ආචාර්ය සුරේෂ් රාඝවන් පවසයි.
ශිෂ්ටාචාරයක් විනාශ කිරීමට නම් එහි කේන්ද්රය දුර්වල කළ යුතු බවත් ජනතාවට වගා කිරීමට ඉඩම් නැතැයි කියමින් විහාරස්ථාන සතු ඉඩම් නැවත රජයට ගැනීමට උත්සාහ කරන්නේ එහි කොටසක් ලෙස බවත් ඔහු පෙන්වා දෙයි.
දුශ්ශීල භික්ෂූන් බුදුන් දවසද සිටි බවත් බුදුන් ඝාතනය කිරීමට සිව් වරක් උත්සාහ කළේ භික්ෂූන් බවත් පෙන්වා දුන් සුරේෂ් රාඝවන් බුදුන් වහන්සේ විනය පිටකය පැනවූයේ එම දුසිල් භික්ෂූන් නිසා බවද ප්රකාශ කරයි.
එහෙයින් සුලු පිරිසක් වන දුසිල් භික්ෂූන් නිසා සමස්ත සංඝ ශාසනයට ආණ්ඩුවේ සෝදන බලකාය සිදුකරන අපහාසය වහා නතර කළ යුතු බවද ඔහු අවධාරණය කරයි.
බහුතර බෞද්ධ ජනතාවගේ ඡන්දය ලබා ගෙන බලයට පත් අනුර දිසානායක ප්රමුඛ ආණ්ඩුව ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 9 වෙනි වගන්තිය උල්ලංඝනය කරමින් භික්ෂූ භේදයක්ද ඇතිකර බෞද්ධ ජනතාව නොසන්සුන් කර ඇති බවටද සුරේෂ් රාඝවන් චෝදනා කරයි.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි 2018 වසරේදී සිරදඬුවම් ලැබුවද කිසිදු අවස්ථාවක බුද්ධ චීවරය ගලවා ගිහි ඇඳුම් අන්දවා දෑතට මාංචු දමා පාරවල් ගානේ ඇදගෙන නොගිය බවත් එය සිදුවූයේ අනුර දිසානායක යටතේ 2026 බවත් ඔහු පවසයි.
ජනාධිපති සමාව දීම අධිකරණයට ඇඟිලි ගැසීමක් නොව එය ජනාධිපතිට හිමි අයිතියක් බවත් ජනාධිපතිවරයාගේ හැසිරීමෙන් තහවුරු වන්නේ බෞද්ධ භික්ෂුවකට ජනාධිපති සමාව දීමට ඔහු තුළ ඇති අකමැත්ත බවද හෙතෙම සඳහන් කරයි.
ඥානසාර හිමිට ජනාධිපති සමාව දීම භික්ෂුවගේ ජයග්රහණයක් ලෙසත් සිය ආණ්ඩුවේ පරාජයක් ලෙසත් ජනාධිපති ප්රමුඛ ආණ්ඩුව සිතන බවත් මෙම කඹ ඇදීම වහා නතර කර දැමිය යුතු බවත් ප්රකාශ කළ සුරේෂ් රාඝවන්, මෙරට ශිෂ්ටාචාරය පුරා භික්ෂුවට ගරු බුහුමන් කළ බවද සිහිපත් කරයි.
ඔහු මේ බව පැවසුවේ මාධ්ය හමුවක් අමතමිනි.