පූජ්ය ගලගොඩ අත්තේ ඤාණසාර හාමුදුරුවෝ සිරගත කරලා බලහත්කාරයෙන් සිවුර ගලවා දැමීම සම්බන්ධ සංවාදය දැන් අලුත් තලයකට ඇවිල්ලා.ඥානසාර හාමුදුරුවන්ට ලැබිලා තිබුණ ජනාධිපති සමාව අහිමි කිරීමේ තීන්දුව සම්බන්ධව ලොකු සංවාදයක් සමාජයේ තිබුණේ නෑ.සියලු දෙනා ඒ තීන්දුවට ගරු කළා. ඇත්තටම විවේචනය එල්ල වුණේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සහ ආණ්ඩුවේ ක්රියාකලපයට.
හැබැයි පහුගිය දා හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා බෞද්ධ මහ සම්මේලනය අමතමින් ඒ තීන්දුව අනීතික බව කියමින් තවත් බෝම්බයක් අතෑරියා. සරත් එන් ද සිල්වාට අනුව මේ නීතියෙන් නියම කර ඇති උපරිම දඬුවම් සීමාව ඉක්මවා යමින් පනවලා තියන වසර 6ක සිරදඬුව නීති විරෝධීයි.
මහෙස්ත්රාත් අධිකරණයකදී සිද්ධවුණ අධිකරණයට අපහාස කිරීමේ වරදකට නියම කරන්න පුළුවන් රුපියල් 1,500 නොඉක්මවන දඩයක් හෝ මාස 18ක් නොඉක්මවන සරල සිරදඬුවමක් විතරයි කියලයි හිටපු අගවිනිසුරුවරයා කියන්නේ. සරත් එන් කියන්නේ අදාළ මහෙස්ත්රාත්වරයා තමන්ට දඬුවම් කිරීමට ඇති බලය සීමිත හින්දා දැඩි දඬුවමක් අපේක්ෂාවෙන් කාරණය අභියාචනාධිකරණයට යොමුකලා කියලයි.
එතනදී අභියාචනාධිකරණය විසින් වසර 6ක සිරදඬුවමක් නියම කරනවා. සරත් එන් ද සිල්වා කියන්නේ ඒ විදිහට මාස 18 ඉක්මවා දඬුවම් කිරීමේ විධිවිධානය අදාළ වන්නේ අභියාචනාධිකරණයට අපහාස කිරීමක් උනොත් විතරයි. පහළ අධිකරණයක සිද්ධවුණ සිදුවීමකට එහෙම වසර 6ක දඬුවමක් නියම කරන්න නීතිමය ප්රතිපාදන නෑ කියලයි.
ඒක හින්දා නීතිමය උපරිමය මාස 18ක්ව තියෙද්දී අවුරුදු 6ක සිරදඬුවමක් නියම කිරීම නීතිවිරෝධී සහ අසාමාන්ය තත්ත්වයක් කියලයි හිටපු අගවිනිසුරු කියන්නේ. ඒ කියන්නේ ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන්ට එරෙහිව ක්රියාත්මක වෙන කුමන්ත්රණ අපි හිතනවාට වඩා පළල් පරාසයකට පැතිර තියනවා කියන එකද?
ඇත්තටම මේක ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහි කුමන්ත්රණයක් කියන එකේ තියෙන්නේ අර්ධ සත්යයක්. මේ පැහැදිලිවම බුද්ධාගමට එරෙහි, සමස්ත බෞද්ධ ජනතාවගේ අයිතීන් නැතිභංගස්ථාන කිරීම වෙනුවෙන් දියත්වෙන කුමන්ත්රණයක්. ඒක මේ ආණ්ඩුව එන්න ඉස්සෙල්ලා ඉඳන් තිබුණ සහ මාලිමා ආණ්ඩුවේ පැමිණිමත් එක්ක වේගවත්වුන කුමන්ත්රණයක්.
මේ නෛතික ක්රියාවලියත් එක්ක හිතද්දී කියවෙන නම් ගත්තම ඒ සැකය තවත් වර්ධනය වෙනවා.එදා හෝමගම අධිකරණයේ ඥානසාර හාමුදුරුවන්ගේ දෝෂ දර්ශනයට ලක්වෙන්නේ නියෝජ්ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් ඇතුළු විමර්ශන නිලධාරීන්. එදා හෝමාගම අධිකරණයේ විනිසුරුවරයා විදිහට කටයුතු කරලා තියෙන්නේ අද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්යක්ෂ ජෙනරාල් රංග දිසානායක.
සරත් එන් ද සිල්වාට අනුව එදා තමන්ට දඬුවම් කිරීමට ඇති බලය සීමිත හින්දා දැඩි දඬුවමක් ලබාදීම සඳහා කාරණය අභියාචනාධිකරණය වෙත වාර්තා කරපු මහේස්ත්රාත්වරයා තමයි රංග දිසානායක. ඒ වෙනකොට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු විදිහට හිටලා තියෙන්නේ වර්තමාන අගවිනිසුරු ප්රිති පද්මන් සූරසේන.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් 2016 වසරේදී හෝමාගම මහේස්ත්රාත් අධිකරණය ඇතුළේ සිද්ධ කළ හැසිරීම් හේතුවෙන් අධිකරණයට අපහාස කළ බවට එල්ල උන චෝදනා විභාග කර දඬුවම් නියම කළ අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ලෙස ක්රියා කරලා තියෙන්නේ එවකට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න අභියාචනාධිකරණ විනිසුරුතුමායි.
මේ විනිසුරු මඩුල්ල 2018 අගෝස්තු මස 08 වනදා ලබාදුන් තීන්දුවෙන් ඥානසාර හිමියන් අදාළ චෝදනා හතරටම වරදකරු කරමින් බරපතළ වැඩ සහිත වසර 19ක සිරදඬුවමක් නියම කළා ඒක වසර 6කින් ගෙවී යන පරිදි ක්රියාත්මක කිරීමට නියෝග කළා. මේ දඬුවම මාස 09 කට වඩා ඥානසාර හාමුදුරුවෝ ගෙවමින් සිටිද්දී තමයි මහා නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයේ ඉල්ලීම පරධි මෛත්රීගේ ජනාධිපති සමාව දෙනවා.
මෛත්රී ලබාදුන් ජනාධිපති සමාව ශ්රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන්නේ සන්ධ්යා එක්නැලිගොඩ සහ විකල්ප ප්රතිපත්ති කේන්ද්රය. නඩුව විභාග කළ ත්රිපුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලේ තීන්දුව 2026 සැප්තැම්බර් 10 වන දා ප්රකාශයට පත් කළා. තීන්දුවට අනුව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබා දීලා තිබූන ජනාධිපති සමාව නීති විරෝධී, අත්තනෝමතික සහ බලරහිත (ශුන්ය) එකක් බව ශ්රේෂ්ඨාධිකරණය තීන්දු කළා.
ඒ තින්දුව දීමේ පදනම වුණේ හිටපු ජනාධිපතිවරයා ආණ්ඩුක්රම ව්යවස්ථාව මඟින් තමන්ට පැවරී ඇති බලතල නිසි පරිදි ක්රියාත්මක කර නොමැති බවත්, අදාළ සමාව දීමේදී නීතිමය ක්රියාපටිපාටීන් උල්ලංඝනය කරලා තියන බවයි. මෙම තීන්දුවත් එක්ක ඥානසාර හිමියන්ට පැනවූ වසර 6ක සිරදඬුවමේ ඉතිරි කාලය බලාත්මක කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා.
ඒ අනුව උන්වහන්සේ නැවත බන්ධනාගාරගත කළා. කොහොම වුණත් මේ මොහොත වෙනකොට දිලිප පීරිස්, රංග දිසානායක, සන්ධ්යා එක්නැලිගොඩ සහ විකල්ප ප්රතිපත්ති කේන්ද්රයේ පාක්යසෝති සරවනමුත් හිටගෙන ඉන්නේ ආණ්ඩුවේ දේශපාලන න්යාය පත්රය අනුකූලව. ඒක නිසා සරත් එන් කියන මේ නීති විරෝධී දඩුවමක් කියන සැකය තවත් වර්ධනය වෙනවා.
මේ කුමන්ත්රණය පිටිපස්සේ බෙදුම්වාදය, වහබ්වාද, බෝන් අගේන් කල්ලිය සහ ආණ්ඩුව ඉන්නවා කියන සැකය හැම අතින්ම තහවුරු වෙනවා. පහුගිදා ශ්රී ලංකා භික්ෂු විශ්වවිද්යාලයේ බෞද්ධ හා පාලි අධ්යයන අංශයේ මහාචාර්ය පූජ්ය පාතේගම ඤාණිස්සර හිමියෝ විශේෂ අනාවරණයක් කළා.
බන්ධනාගාර නිලධාරීන් හරහා උන් වහන්සේට ඥානසාර හිමියන් ඝාතනය කිරීමේ කුමන්ත්රණයක තොරතුරු අනාවරණය වෙලා තිබුණා. බන්ධනාගාරය තුළ ගැටුමක් නිර්මාණය කරලා, ඥානසාර හිමියන් පිස්තෝලයක් පැහැරගෙන තමන්ටම වෙඩි තියාගත්ත බව ඇඟවෙන ආකාරයේ ව්යාජ කතාවක් සමාජගත කරන්න ආණ්ඩුවේ පාර්ශ්වයන්ගේ අපේක්ෂාව වී තිබූ බව ද උන්වහන්සේ ප්රකාශ කරනවා.
එතකොට ඒක රංග නිශාන්ත, කපිල චන්ද්රසේන, සී.ඩී වික්රමරත්න වගේ තවත් අභිරහස් සියදිවි නසා ගැනීමක් වෙයි. ඒ වගේම උදය ගම්මන්පිල කරපු හෙලි දරව්වට අනුව ඥානසාර හාමුදුරුවන්ගේ සිවුර ගලවලා ගිහි ඇඳුම් අන්දවන හැටි සජීවීව බලා හිටපු අසහනකාරයෙක් ඉන්නවා. එහෙම පවා කාලකන්නි සතුටක් ගන්න බෞද්ධ විරෝදීන් ඉන්නවා නං සිරමැදිරිය ඇතුලේ ඥානසාර හාමුදුරුවන්ගේ ජීවිතය අනතුරේ බව අමුතුවෙන් කියන්න ඕනි නෑ.
ඒක නිසා මෙතන දැන් තියන අවසන් සටන බවට පත්වෙන්න ඕනි ඥානසාර හාමුදුරුවන්ට නිදහස ලබාගැනීමයි. ශ්රේෂ්ඨාධිකරණ තීරණයට අනුව ඥානසාර හාමුදුරුවෝ ජනාධිපති සමාව ලබන්න නුසුදුස්සෙක් නෙවෙයි. ඒක නිසා ජනාධිපති සමාව දීමේදී වෙලා තියන පරිපාලනමය වරද නිවැරදි කරලා නැවත උන්වහන්සේට ජනාධිපති සමාව ගන්න ඕනි.
ඒකයි මේ සටනේ අවසන් ඉලක්කය. නැත්නම් උන්වහන්සේගේ ජීවිතය අවධානමක් තියනවා.පැලවත්තේ හැටි දන්න අයට ඒ අනතුර ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑ. හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.