බෞද්ධ විරෝධි පාලනයක ප්‍රතිඵලය නාමික භික්ෂූන් සහ බෞද්ධයන්….! – ආචාර්ය චන්න සුදත් ජයසුමන….

September 12, 2026 at 8:41 pm | by emanisa.lk

හිටපු රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය චන්න ජයසුමන සිය ෆේස්බුක් පිටුවෙහි පළ කරන ලද ලිපියකි.

වත්මන් රජය කරවන ඇත්තන් දරන නිශ්චිත මතවාදයක් නොවුණ ද ඔවුන් මෙහෙයවෙන මූල දර්ශනය සරලව නමුත් සාකච්ඡා කිරීම ඔවුන්ගේ දිගු කාලීන පාලනයකින් ඇති වන විනාශකාරී ප්‍රතිඵල පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට හේතු වේ.

ජනතා විමුක්ති පෙරමුණ 1965 දී පමණ ආරම්භ කළ දිනයේ සිට අද දක්වා කිසිදු නිශ්චිත මතවාදයක් දැරූ දේශපාලන ව්‍යාපාරයක් නොවේ. ඔවුන් කලින් කලට අවස්ථාවාදී ලෙස තම ස්ථාවර වෙනස් කර ඇත. කෙසේ නමුත් ඔවුන් මෙහෙයවෙන්නේ උච්ඡේදවාදී දර්ශනයකිනි. එම දර්ශනයේදී පංති සටනේ ඉතිහාසය, සමාජ විකාශනය, නිෂ්පාදන බලවේගවල වර්ධනය ආදී විවිධ මාතෘකා සාකච්ජා වන නමුත් අවසානයේ කියැවෙන්නේ පංති අතර පවතින සම්බන්ධතා මත සමාජ විකාශනය සිදුවන බවයි.

ලංකාව තුළ ජවිපෙ ගුරු කර ගන්නා එකී දර්ශනය මාක්ස්වාදය, මාඕවාදය හෝ වෙනත් එක් වාදයකට 100%ක් ලඝු කළ නොහැකි නමුත් “පංතිය” මත සමාජ ඉරණම (එනයින්ම අවසානයේ පුද්ගල ඉරණම) නිර්ණය වන බව පිළිගන්නා දර්ශනයකි. පංතිය මත ඉරණම තීරණය වන බව ප්‍රවාද ගත කරන්නේම සංසාරය, කර්මඵල හෝ නාම-රූප පිළිබද අනවබෝධය හේතුවෙනි.

සංසාරය හෝ කර්මය පිළිබඳ විශ්වාසය බෞද්ධයන්ට පමණක් සීමා වූවක් නොවේ. බෞද්ධයන්ට අමතරව හින්දුන්, ජෛනයන් මෙන්ම සීක්වරු ද සංසාරය සහ කර්මය විශ්වාස කරති. බුදුදහමේ පමණක් ඒ විශ්වාසය පටිච්ච සමුප්පන්න හෙවත් හේතුඵල මත පාදක වේ. සංසාරය සහ කර්මඵල පිළිබද විශ්වාසය මත පදනම්ව නිවන අරමුණු කරගත් සමාජයක් ගොඩනැංවූවෝ සිංහලයෝ ය. පුද්ගලයෙකුගේ ඉරණම තමා අයිති පන්තිය මත තීරණය වන්නේය යන්න කර්මඵල පිළිබඳ විශ්වාසය සමඟ මුළුමනින්ම පරස්පර වෙයි.

පංතිය පිළිබඳ අදහස් මෙරටට ගලා ආවේ එංගලන්තයේ උසස් අධ්‍යාපනය ලැබීමට එහි ගොස් යළි මෙරටට පැමිණි අය අතිනි. ඒ අදින් සියවසකට පමණ පෙරයි. කෙසේ නමුත් එම අදහස් මෙරට පැලපැදියම් වූයේ 1960 දශකයේ ජනතා විමුක්ති පෙරමුණ පිහිටුවීමත් සමගයි. කාල් මාක්ස් සහ තවත් අය පංතිය පිළිබඳ ඉදිරිපත් කර තිබූ අදහස් ඉතා සූක්‍ෂම ලෙස මෙරට සමාජයට ගැලපීමට රෝහණ විජේවීර සමත් විය.

ලංකාවේ කිසි දිනක කම්කරු පංති විඥානයක් බිහි වී කම්කරු පංතියක් බිහි නොවන බව ද ලංකාවේ සිටි සංඛ්‍යාවෙන් සීමිත කම්කරුවන්ට භාහිරෙන් විඥානය එන්නත් කළ නොහැකි බව ද විජේවීර හොඳින් තේරුම් ගෙන තිබිණි. පංතිය පිළිබඳ සංකල්පයෙන් කියැවෙන “පංති “මෙරට දක්නට නොලැබුණද දරිද්‍රතාවයෙන් පෙළුණු, නිදහස් අධ්‍යාපනය ඔස්සේ සරසවි වරම් ලැබූ සිසු සිසුවියන්ට සහ අඩු යැයි සම්මත කුලවලට අයත් වූ නිසි (බටහිර) අධ්‍යාපනයක් නොලැබූ ග්‍රාමීය තරුණ තරුණියන්ට “නිර්ධන පංතිය, පීඩිත පංතිය” ආදී විවිධ මුහුණුවරින් යුත් පංති හඳුන්වා දී හඳුන්වා දී එම අදහසට ආශක්ත කර ගැනීමට විජේවීරට හැකිවිය.

ඔවුන්ගේ ප්‍රතිවාදියා බවට පත් වූයේ රදළ සහ ගොවිගම වළව්කරුවන් සහ වැවිලිකරුවන් (ප්‍රභුන්) ය. කෙසේ නමුත් එම විරෝධය පමණක් දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට ප්‍රමාණවත් නොවූ හෙයින් විජේවීර අන්තර්ජාතික ආධාර ලබා ගැනීමට “ඇමෙරිකානු අධිරාජ්‍ය විරෝධය” ඊට ගැට ගැසීය.

1965-70 සමයේ ජවිපෙ ප්‍රධාන සටන් පාඨය වූයේ ඇමරිකන් ගැති ඩඩ්ලි සේනානායක ආණ්ඩුව ඡන්ද නොතියා ඒකාධිපති පාලනයකට සැරසෙන බවත් ඊට එරෙහිව සංවිධානය විය යුතු බවත්ය. ඇල්ල-වැල්ලවාය මාර්ගය තනන්නේ ඇමරිකා යුධ ගුවන්යානා ගොඩ බැස්සවීමට බවත්, බෙන්තර ගඟ අසබඩ දැවැන්ත කළුගල් බිත්ති සහිතව ගොඩනගන්නේ ඇමරිකානු යුද කඳවුරක් බවත් (ඒ ජෙෆ්රි බාවාගේ ගේ සැලසුමකට අනුව ඉදි වූ බෙන්තොට බීච් හෝටලයයි) විජේවීර පැවසූ විට ඔහුගේ අනුගාමිකයෝ එය විශ්වාස කළහ.

කෙසේ නමුත් 1970 නිසි කලට මැතිවරණයක් පවත්වා සමගි පෙරමුණු රජය බලයට පත් වූ විට ඩඩ්ලිට එරෙහිව සූදානම් කළ සටන මුදා හැරීම හැර අන් විකල්පයක් ඔවුන්ට නොවීය. එවකට දිවි දුන් තරුණ තරුණියන් සිතන්නට ඇත්තේ ලංකාව තුළ පංති ගැටුමේ උච්චතම අවස්ථාව එළඹි ඇති නිසා විප්ලවයට සුදුසුම අවස්ථාව ඒ වන්නට ඇති බවයි.

එතැන් සිට අද දක්වාම ජවිපෙ මූලිකව මේ රට තුළ දියත් කළේ අඛණ්ඩ කැරැල්ලකි. එහි මුහුණුවර වරින් වර වෙනස් විය. ඊට නායකත්වය දුන් අය වරින් වර වෙනස් විය. ඔවුන්ගේ උපක්‍රම වරින් වර වෙනස් විය. එහෙත් පහුගිය වසර 60 තුළ මෙරට තිබුනේ ජවිපෙ මූලිකව දියත් කළ අඛණ්ඩ කැරැල්ලකි. 1971, 1988-89 සහ 2022 අප දුටුවේ එම අඛණ්ඩ කැරැල්ලේ ඉලිප්පීම් තුනකි.

තම පංතිය එක්ව සිදුකරන අරගලයකින් සියලු ප්‍රශ්නවලට විසඳුම් ලබා ගත හැකිය යන ආකර්ශනීය තේමාවට රැවටුණු තරුණ තරුණියෝ දස දහස් ගණනක් වසර හැටක කාලයක් අති මහත් කැප කිරීම් කර, ජීවිත පූජා කර මිරිඟුවක් පසුපස හඹා ගියහ. අද ඔවුන් “අපේ පංතිය” යැයි සිතා සිටි පිරිසකට ලංකාවේ පාලන බලය ලැබී ඇත.

කෙතරම් සිහින දුටුවද, කෙතරම් කලක් මෙරට පාලනය කළද (ඒ බලය ලබා ගත් ආකාරය හෙට ලිපියෙන් සාකච්ඡා කෙරේ), ඔවුන්ට පන්තිවලදී ඉගැන්වූ පංති විරහිත කොමියුනිස්ට් සමාජය කිසි දිනක මෙරට බිහි නොවනු ඇත. ධනවාදය සැබවින්ම පරාජය කළ හැකි මාක්ස්වාදය කුමක්දැයි වසර 150 කට පසු අදත් ලොව කිසිවකුට හෝ සොයා ගත නොහැකිය.

විජේවීරට ජාතිකත්වයක් නොතිබිණි. ඔහු ඉතා දැඩි අවස්ථාවාදියෙකි. කෙසේ නමුත් තම අවස්ථාවාදය නිසාම ඔහු ඇතැම් අවස්ථාවල ජාතිකත්වයේ සටන් පාඨ තමන්ගේ සටන් පාඨ බවට පත් කර ගත්තේය. ඉන්දියානු ව්‍යාප්තවාදයට විරුද්ධ වීම ඒ සඳහා හොඳම උදාහරණයකි. ජේ.ආර්.ජයවර්ධන නිසි කලට මැතිවරණ නොපවත්වා පීඩාකාරී පාලනයක් ගෙනයාම හේතුවෙන් ප්‍රබල මහජන විරෝධයක් පැන ගැනී තිබූ හෙයින් එය තමන්ගේ දිශාවට හරවා ගැනීමට විජේවීර ඉන්දු-ලංකා ගිවිසුමට විරුද්ධ විය. බැලූ බැල්මට එය ජවිපෙ ජාතිකත්වය දෙසට දෝලනය වීමකි.

කෙසේ වෙතත් මෙරට ජාතිකත්වයේ දාර්ශනික පදනම සකස් කරන සසර-නිවන, කර්මඵල විශ්වාසය, නාම-රූප ධර්මතා ප්‍රතික්ෂේප කරන ජවිපෙට, පෙරටුගාමීන්ට හෝ “පංතිය” මත පදනම්ව ලෝක ධර්මතා පැහැදිලි කරන දේශපාලන බලවේගයක් “ජාතිකවාදී” යැයි හැදින්විය නොහැකිය. වරින් වර ජාතිකත්වයේ සටන් පාඨ දැරුවද ඔවුන්ගේ සාරය විජාතිකය.

ජවිපෙ හෝ පෙරටුගාමී හෝ වෙනත් එවැනි දේශපාලන ව්‍යාපාරයකින් පන්ති වැඩමුළු, කඳවුරු පැවැත්වීම මගින් සැබවින්ම සිදුවන්නේ කුමක්ද? මොළ සේදීමකි. සේදෙන්නේ කුමක්ද? මේ පන්ති,වැඩමුළු, කඳවුරු, දේශනවලට සහභාගී වන සාතිශය බහුතරයක් සිංහල බෞද්ධයන්ය. කුමන ආකාරයෙන්, කුමන රසමුසු, හරබර වදන් යොදාගන්න පැවැත්වුණ ද අවසානයේ එමගින් සිදු කෙරෙන්නේ ඒවාට යන අයගේ කර්ම ඵල පිළිබඳ විශ්වාසය නැති කිරීමයි; සංසාරය පිළිබද විශ්වාසය නැති කිරීමයි. එම විශ්වාසය නැති නොකර “පංතිය” පිළිබඳ අදහස තහවුරු කළ නොහැකිය.

මේ ගැන ඇති හොඳම උදාහරණය ජවිපෙ හෝ පෙරටුගාමීන්ට සම්බන්ධ භික්ෂූන් වහන්සේලාය. උන්වහන්සේලා සිවුරක් දරති. බෞද්ධයන්ගේ සිව් පසයෙන් යැපෙති. එහෙත් පුද්ගල ඉරණම තීරණය වන්නේ තමන් අයිති පංතිය මත බව උන්වහන්සේලා විශ්වාස කරති. එනම් කර්මඵල විශ්වාස නොකරති. එහි තේරුම සිවුරු දරන දර්ශනයෙන් අබෞද්ධ භික්ෂූන් වහන්සේලා බිහිවීමයි. මේ කෙතරම් දරුණු ලෙස සිදුවේද යන්න අවබෝධ කර ගැනීමට මා කලක සිට එවැනි භික්ෂූන් වහන්සේලා දෙදෙනෙකු ගැන අධ්‍යානය කරමි. ඒ දෙදෙනාම සමාජ මාධ්‍යවල බෙහෙවින් ක්‍රියාකාරීය.
උන්වහන්සේලාට අගෞරව කිරීමේ බලාපොරොත්තුවක් නැත ද නමින් පැවසීම වරදක්යැයි මම නොසිතමි. එක් අයෙකු නම් ජනතා විමුක්ති පෙරමුණට සහාය දක්වන ඥානාරාම නම් හිමිනමක ය. දෙවැන්නා පෙරටුගාමී පක්ෂයට සහය දක්වන ඥානානන්ද නම් හිමිනමක ය. මිත්‍යාදෘෂ්ටික මතවාදයක් මගින් බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් කෙතරම් වෛරීසහගත, බෞද්ධ විරෝධී මිථ්‍යා දෘෂ්ටිකයන් බවට පත්කළ හැකි ද යන්නට උන්වහන්සේලා දෙනම ජීවමාන උදාහරණ වෙති.

අයකු පංතිවාදය හිස දරා ගත් පසු ඔහුගේ සිතීම් රටාවේ සිදුවන වෙනස්කම ලෙහෙසියෙන් නිරීක්‍ෂණය කළ හැකිවේ. සසර, කර්මය වැනි සංකල්ප මත ගොඩනැගුණු ජ්‍යෝතිෂය වැනි විෂයයන් ඔහු අතින් හාස්‍යයට ලක්වේ; නැකැත්, සිංහල අවුරුදු චාරිත්‍ර ආදිය නොවැදගත් බවට පත්වේ; පිළිම වන්දනාව ප්‍රතික්ෂේප වේ. බෝ ගස තවත් එක් ගසක් පමණක් බවට පත් වේ; සියලු ආගමික ඉගැන්වීම්වල හරය එකම බව පවසයි; බුදු දහම අනෙකුත් ඉගැන්වීම්වලින් වෙනස් වන්නේයැයි නොපිළිගනී; ලෝකය තනි යායක් ලෙස පෙනෙන්නට ගනී.

කෙනෙක් මියගිය පසුගේ භව ගමන කෙටි වේවා යන අරමුණෙන් නිවන් සුව ප්‍රාර්ථනා කිරීම වෙනුවට සුභ ගමන් ප්‍රාර්ථනා කරයි. ජවිපෙ, පෙරටුගාමී වැනි පක්ෂ එය ඉක්මවා ගොස් ක්‍රිස්තියානි සම්ප්‍රදායට අනුව මළ ගෙදර සංගීත භාණ්ඩ වාදනය කර විප්ලව ගී (ගීතිකා) ගයා මිය ගිය අයට සමු දෙයි.
කර්මඵල පිළිගැනීමට ප්‍රතිපක්ෂව අදහස් දක්වන පිරිස් පවසන්නේ සෑම දෙයකටම කර්මය, කර්මය කියා ලැබෙන දෙයක් බාර ගෙන බලා සිටිය යුතු ද යනුවෙනි. බුදු දහම සියල්ල කර්මය මත සිදුවන්නේ යැයි කිසි විටක නොපවසයි.

උට්ඨාන වීර්යය, ධෛර්යය, කැප වීම, උපක්‍රමශීලීව කටයුතු කිරීම මගින් අකුසල් යටපත් කර කුසල් ඉස්මතු කරගෙන තම ඉරණම වෙනස් කර ගැනීමට හැකි ආකාරය ආකාරය බුදු දහමේ උදාහරණ සහිතව පෙන්වා දී ඇත. පංතිවාදවල පැවසෙන්නේ පංතිය පිටින් එකතු වී අරගල කිරීම මගින් පමණක් අවසානයේ පුද්ගල සහනය/විමුක්තිය ලබාගත හැකි බවයි. කර්මඵල විශ්වාස කළ විමුක්තිය/ සහනය ලැබූ අය පිළිබඳ විස්තර බොහෝ ඇත ද අද ද එවැන්නන් දැක ගත හැකි වුවද, පසුව කී ආකාරයට පංතිය පිටින් විමුක්තියක් සහනයක් ලැබූ තැනක්, අයෙක් ලොව කොතැනක හෝ ඇතිද?

ජවිපෙ ප්‍රමුඛ ආණ්ඩුවෙන් බෞද්ධාගමික කටයුතු සඳහා අනුග්‍රහයක් ලබා දෙනවා නේද? එහෙයින් ඔවුන් බෞද්ධ විරෝධී යැයි පවසන්නේ කුමන පදනම සිට ද යනුවෙන් ඇතැම්හු ප්‍රශ්න කරති. ජවිපෙ පෙරටුගාමී හෝ පන්තිය මත පදනම් වන වෙනත් දේශපාලන හෝ සමාජ ව්‍යාපාරයක් බෞද්ධ විරෝධී වන්නේ දාර්ශනිකවය. මූලික හරයෙනි. පෙරහැරක කරඬුව තැබූ පළියට, තොරණක් විවෘත කළ පළියට කිසිවෙක් බුදු සමයට අනුග්‍රාහකත්වය නොදක්වයි.

පොදු මහ ජනතාව තුළ සසර, කර්මය, නිවන, කර්මඵල, නාම-රූප පිළිබඳ විශ්වාසය වැඩි දියුණු වන ලෙස කටයුතු කරන්නේ නම් පමණක් ඔහු බුදු දහමට අනුග්‍රාහකත්වය දක්වයි. සියවස් 25කට ආසන්න කාලයක් පුරා වරින් වර මෙරට පාලකයන් දක්වා ඇති ආදර්ශය එයයි. සසර, කර්මය, නිවන, කර්මඵල, නාම-රූප පිළිබඳ විශ්වාසයක් නැති පාලනයක් දීර්ඝ කලක් පුරා බිහිවුවොත් අවසානයේ සිදුවන්නේ නාමික බෞද්ධයන් පිරිසක් පමණක් රට තුළ බිහිවීමයි; නාමික භික්‍ෂූන් වහන්සේලා පිරිසක් පමණක් ඉතිරිවීමයි. එවිට බුදු දහම යනු හුදු සංස්කෘතික අංගයක් පමණක් වනු ඇත.

රෝහණ විජේවීර උලපනේ නිවසේ දී අත්අඩංගුවට ගත් පසු කොළඹ යාමට පෙර සිය බිරිඳට තම ළමුන්ගේ ආගම බුදු දහම ලෙස නොවෙනස්ව තබන ලෙසට දැන්වූ බව සඳහන්ය. ඒ ඇතැම් විට සිය බිරිඳ බෞද්ධාගමිකයකු නොවූ නිසාද විය හැකිය. කෙසේ නමුත් තමන් මහත් කැප කිරීමක් කර දේශන පන්ති වැඩ මුළු කඳවුරු පවත්වමින් ප්‍රචාරය කළ “පංතිවාදය” බුදු දහමට මුළුමනින්ම පටහැනි, කර්මඵල විශ්වාසය බැහැර කරන උච්ඡේදවාදී මිථ්‍යාදෘෂ්ටියක් බවත්, එමගින් අවසානයේ මුළු ජාතියක් බුදු දහමින් වියෝ වන බවත් තේරුම් ගැනීමට ඔහුට නොහැකි විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස