මාලිමාව නමින් ගෙන එන්නේ රටේ ආගම සංස්කෘතිය ප්‍රතික්ෂේප කරන මාක්ස්වාදී අන්තවාදී කණ්ඩායමක් බවට තමන් මැතිවරණයටම පෙරම අනතුරු ඇඟවූ බව ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමි පවසයි.
මේ වන විට භික්ෂූන් වහන්සේලාට පෙර නුවූ විරූ ලෙස පහර දෙමින් දළදා ප්‍රදර්ශන මුවාවෙන් මහනුවර නගරම නරකාදියක් බවට පත්කරමින් මේ වන විටත් බුදු දහමට සහ බෞද්ධ සංස්කෘතියට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කර ස්වභාවික මරණයක් වෙත දක්කාගෙන යමින් ඇති බවටද එහිමියන් චෝදනා කරයි.
රටේ සංස්කෘතික හර පද්ධති විනාශ කරන අතර එහි බලයක් ඇත්නම් මහනුවර එලෙස අපිරිසිදු වෙයිද දිට්වා කුණාටුව රටට එයිද යනුවෙන් ප්‍රශ්න කරමින් බෞද්ධ ජනතාව තුළ ඇති ආගමික විශ්වාසයටද සියුම් ලෙස පහර දෙමින් ජන මනස තුළ දළදා වහන්සේ ඇතුළු සිය ආගමික සංස්කෘතික පද්ධති පිළිබඳ අවිශ්වාසයක් ජනිත කරමින් ඇතැයිද අමිල හිමි පෙන්වා දෙයි.
ආගම අබිං යැයි දූෂිතයන්ගේ මෙවලමක් යැයි මොළ සෝදන පිරිසකට මිස සිය ආගමික පදනම හෝ රටේ සංස්කෘතිය අවබෝධ කරගත් චන්ද්‍රිකා, මහින්ද, රනිල්, සජිත් ආදී කිසිවෙකුට මෙවැනි ප්‍රහාරයක් එල්ල නොහැකි බවද එහිමියන් අවධාරණය කරයි.
රටේ ජනාධිපතිවරයා හෝ සංස්කෘතික ඇමති කිසිවෙකු අභාවප්‍රාප්ත වූ විට අමා මහ නිවන් සැප ලැබේවා යැයි කිසිදු අවස්ථාවක ප්‍රකාශ නොකරන බවත් එසේ කළහොත් ඔවුන්ගේ ආගම් විරෝධී කාඩරය කඩා වැටෙන බවත් දඹර අමිල හිමි සඳහන් කරයි.
අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් දඹර අමිල හිමි මේ බව කීය.