22 ගැන ජනමත විචාරණ කොහොමත් නෑ…. අධිකරණ ඇමති ශ්‍රේෂ්ඨාධීකරණ තීන්දුව කලින්ම දෙයි…!

August 23, 2026 at 2:37 pm | by emanisa.lk

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සිදු කළ ප්‍රකාශය මෙරට අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය පිළිබඳ බරපතළ ගැටලු මතු කරන්නක් බව ‘දිනන දකුණ සාමූහිකය’ පවසයි.

එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණය සතු කාර්යභාරයට මෙවැනි ප්‍රකාශ හරහා බලපෑම් එල්ල වන බවයි.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක් කරමින් පාර්ශ්ව රැසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර ඇති පසුබිමක, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් “කොහොමවත් ජනමත විචාරණයක් පැවැත්වෙන්නේ නැහැ” යනුවෙන් කළ ප්‍රකාශය එම සාමූහිකය දැඩි ලෙස හෙළා දකියි.

අදාළ පෙත්සම් විභාග කර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිය තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබියදී, වගකිවයුතු අමාත්‍යවරයෙකු මෙවැනි ස්ථාවරයක සිට ප්‍රකාශ නිකුත් කිරීම ස්වාධීන අධිකරණ ක්‍රියාවලියට කරන බලපෑමක් බව එම සංවිධානය පෙන්වා දෙයි.

මීට පෙර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ද මෙවැනිම ප්‍රකාශයක් සිදු කර ඇති බව සිහිපත් කරන දිනන දකුණ සාමූහිකය, අධිකරණ ක්‍රියාවලියට බලපෑම් එල්ල වන මෙවැනි ප්‍රකාශ සිදු කිරීමෙන් වළකින ලෙස රජයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස