* මම මෙතනට ආවෙ 2023.02.24 දින වසර 4 ක සිර දඬුවමක් ලැබිල ශ්‍රේෂ්ඪාධිකරණයෙන්. වරද නීතීඥයෙකු ලෙස මාධ්‍ය සාකච්ඡා පවත්වා අධිකරණ තීන්දු විවේචනය කොට අධිකරණයට අපහාස කිරීම.
* එහෙම ඉන්න කොට 2023 ජුනි මාසෙ අභියාචනාධිකරණෙන් මාස හයක හා අගෝස්තු මාසෙ කොළඹ මහාධිකරණයෙන් මාස හයක සිර දඬුවම් ලැබුණා, ඒ අවුරුද්දත් සමග එකතුව අවුරුදු පහයි.
* ඒත් මාධ්‍ය හරහා අධිකරණයට අපහාස කිරීමේ චෝදනා
* වැලිකඩ බන්ධනාගාරයේ H වාට්ටුවේ තමයි මුලින්ම නවාතැන් ලැබුණේ.
* මාස පහමාරකින් M වාට්ටුවට මාරු කළා. එතන තමයි වැඩිම කාලයක් හිටියේ.
* දැනට මාස තුනකට විතර කලින් නැවත H වාට්ටුවට මාරු කළා.
* එතන මාසයක් ඉඳල K වාට්ටුවට මාරු කළා.
* H සහ K වාට්ටුවට සිර කාමරවල තමයි හිටියෙ. හවස 5.30ට සිර කාමරවලට දාල වහනවා. එළිවෙලා 6 ට විතර කූඩුවලින් එළියට ගන්නවා. නැවත සවස 5.30 ට වහනකම් එළියෙ ඉන්න පුළුවන් ටිකක් නිදහසේ. හැබැයි රෑ වැසිකිළි යන්න බැහැ. ටින්වලට තමයි ඒව කරන්න වෙන්න.
* M වාට්ටුව ශාලාවක්. ඒකෙ සිර කුටි නැහැ. වැසිකිළි තියෙන නිසා ඕන වෙලාවක යන්න පුළුවන්. ඒක ලොකු වරප්‍රසාදයක්.
* පෝලිමේ ගිහින් පිඟානට කෑම ගන්න ඕන. මිරිස් තුන පහ, පොල් කිරි බොහොම අඩුයි, කෑම දිය රහයි.
* සුදු කොට කලිසමයි, සුදු අත් කොට කමිසයයි තමයි ඇඳුම. කොන්ඩෙ කොටට කපා ගන්න ඕන. රැවුලත් එහෙමයි.
* මරණ දඬුවම ලැබුණු සහ අභියාචනා නඩු තිබෙන අය හැරුනහම අනෙක් සෑම සිර කරුවෙකුම උදේ 7.30 සිට සවස 3 තෙක් වැඩ කරන්න ඕන. වඩු වැඩ, මේසන් වැඩ, කම්මල් වැඩ, සබන් හැදීම, කොහු වැඩ, වගාව. ඇඳුම් මැසීම වගේ වැඩ තියෙනවා. මම හිටියෙ මැහුම් අංශයේ.
* බිම පැදුරු එළලා අපි නිදා ගන්නෙ පොඩි ඉඩක. බෑග් එකක එල්ලල අපි ළඟම අපේ සීමිත බඩු භාණ්ඩ තියා ගන්නවා. හරිම සරළ ජීවිත.
* ගෙදරින් උයපු කෑම සහ වියළි ආහාර, සීනි කිරි පිටි ගෙදරින් ගෙන්න ගන්න පුළුවන් අවුරුද්දට දින පහක් පමණයි. සැප්තැම්බර් 12 සිරකරු දිනය, නත්තල් දින, නිදහස් දින, අප්‍රේල් 13,14 අවුරුදු දා, වෙසක් දින කියන දිනවල පමණයි සුධර්මිකා ගෙදර උයපු කෑම ටිකත් කන්න වාසනාව ලැබෙන්නෙ.
* ඊට අමතරව සිරකරු දිනයේදි ගෙදර කට්ටිය තුන් දෙනෙකුට සිර ගෙදරට ඇවිත් අපිත් එක්ක පැය තුනක් විතර පැදුරුවල වාඩි වෙලා එකට කෑම ටිකක් කාල කතා බහ කරන්න අවසර ලැබෙනවා.
* හිටපු අවුරුදු තුන හමාරට ඉතාම සරල ජීවිතයක් ගෙවන්න ලැබුණා.
* ජීවිතය ගැන ආවර්ජනයක් කරල කරපු හොඳ වැඩ, ගොංකම්, වැරදුනු තැන් ගැන හිතන්න ලොකු ඉඩක් ලැබුණා.
* බොහෝ අයට නීති උපදෙස් වගේම මානසිකව වැටිල ඉන්න අයට උපදේශන කරන්නත් මට අවස්ථාව ලැබුණා. ( මම මනෝ විද්‍යා උපදේශකයෙක්)
* අසාධාරණ වැඩවලට යම් යම් අවස්ථාවල නිළධාරීන් සමග ගැටෙන්නත් වුණා.
* වටිනාම දේ තමයි හිරකාරයන් එක්ක කතා කරල ලැබුණු දැනුම.
* සිරකරුවෝ ද මනුෂ්‍යයෝය, කියල මෙහෙම එළියෙ තාප්පෙ කොටල තිබුණාට සිරකරුවන්ට ඒක අදාළ කර ගන්නව හරිම අඩුයි.
* ගෙදරින් විසිට් එන්නෙ නැති බොහෝ රැඳවියන් සබන් දත් බෙහෙත් ටිකත් අත පාල වෙනත් අයගෙන් තමයි ඉල්ල ගන්නෙ. මාස හයකටවත් සැරයක් බන්ධනාගාරයෙන් සබන් කෑල්ලක් ලැබෙන්නෙ නැහැ.
* අසනීපයකට නිසි ප්‍රතිකාර ලැබෙන්නෙ නැහැ. ඒ නිසා බොහෝ රෝගීන් හිර ගේ ඇතුලෙම මිය යනවා.
* සිරකරුවන්ව සම්මුඛ පරීක්ෂණයකට ලක් කරල ඔවුනට තිබෙන ගැටලු විමසල සහනයක් දෙන්න ක්‍රම වේදයක් හිර ගෙදර නැහැ.
* එළියෙ ඉඳන් ඇතුළට එන රැඳවියන්ව ගේට්ටුවෙදි බන්ධ පොලීසියෙ අය පරීක්ෂා කරන්නෙ ඇඳුම් ගලවල. පස්ස පෙන්නල තටමන්නත් ඕන නිරුවතින්. එහෙම තමයි කුඩු ගේනවද බලන්නෙ. Scan යන්ත්‍ර පාවිච්චි කරන්නෙ නැහැ. මේක මානව හිමිකම් උල්ලංඝනයක් කියල මම දවසක් බන්ධ නිළධාරීන්ගෙන් ගේම ඉල්ලුවා. පස්සෙ පස්ස මමත් නිරුවතින් පස්ස පෙන්නල ආව. ( මීගමුවෙ දි අමානුෂික ලෙස ඝාතනය වූ අට දෙනාම වැලිකඩ සිට එදා උදේ මීගමුවට ගිය බන්ධ පොලීසියෙ නිළධාරීන්. ඔවුන් සමග රැඳවියන් ඉන්නෙ හරිම වෛරයකින් )
* හිර ගෙදර පුනරැත්ථාපනයක් නැහැ. හැදෙන එකා හැදෙනවා. නැති එකා නැහැ.
* මරන දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබපු රැඳවියන්ට නිදහස ලබන දිනයක් නැහැ. අවුරුදු 32 ක් එහෙම ඉන්න අය මට මුණ ගැසුණා. ඒ වගේ අය අසනීප වෙලා, වයසට ගිහින් හිර ගෙදරම මැරෙනවා. ඒක හරිම අමානුෂිකයි.
* බොහෝ රැඳවියන් පවුලේ එකම ආදායම් උපයන්නා, ඒ අය හිර ගෙදර දඬුවම් විඳිනකොට දරු පවුල් අනාථ වෙනවා, අනාරක්ෂිත වෙනවා. බිරිඳ රැකියා කරන්න එළියට ගියහම දරුවන් ගෙදර අනාරක්ෂිතයි. ඔවුන්ගේ ඉගෙනීම කඩා කප්පල් වෙනවා, තරුණ දූවරුන් අයාලේ යනවා. මේක ඛේදවාචකයක්. සරෝජිනී පෝල්රාජ් ඇමතිතුමිය මේ ගැන දන්නවාද?
* හිර ගෙදර ගැන ඉගෙන ගන්න කෙනෙක් ඉන්නව නම් කතා කරන්න. බංකු පුටු ගේන්න එපා. කියා දෙන්නම්
* ඉදිරියට මගේ ජීවිතයේ ලොකු ඉඩක් මම සිරකරුවන් නිදහස් කිරීම හා ඔවුන්ගේ හා දරු පවුල්වල සුභසාධනය වෙනුවෙන් කැප කරනවා.
* පාපැදියෙන් ගෙදර සිට කි. මීටර් 15ක් පැදල දූවිලි දහදිය පිටින් තමයි අද උදේ මේ සෙල්පිය ගත්තෙ. මූන කචල් කියල අවුලක් ගන්න එපා.
* තැලෙන, පෑගෙන, පොඩි මිනිස්සු වෙනුවෙන් පෙනී සිටිනවා කියල බලයට ආපු ආණ්ඩුව මරන්න ගෙනියන හරක් ඩොල්ෆින් එකට පටවනවා වගේ මේ දවස්වල හිර ගෙවල් පුරවනව. මම ඇතුළට යන කොට සමස්ත රැඳවියන් 27000 යි ලංකාවෙම හිර ගෙවල්වල හිටියෙ. දැන් 44000 පැනලා. සැමන් පැක් කරල වගේ නිදා ගන්නෙ, නා ගන්න ඇඳුමක් හෝද ගන්න හිරකාරයො මරා ගන්නවා. ආණ්ඩුවට වගේ වගක් නැහැ.
* 54 ගහල කුඩු ජාවාරම්කාරයො කියල පොලීසිය අල්ලල ඇතුළට දාන්නෙ කුඩුවලට ඇබ්බැහි වුණ සාමාන්‍ය තරුණයන්. අවුරුද්දකට වැඩිය යනව ඇප ගන්න. ඒකයි හිර ගෙවල් උතුරන්නෙ. ඇත්තටම කරන්න ඕන ඒ අය පුනරුත්ථාපනය කිරීමයි. රෝගීන්ව මෙහෙම සිරගත කිරීමට පාලකයො ලැජ්ජ වෙන්න ඕන.
* සිර ගෙවල්වල නිලධාරීන් බහුතරයක් ජීවත් වෙන්නෙ වැටුපෙන් නෙවෙයි. මුදලට සිරකරුවන්ට පහසුකම් සපයලා. ජංගම දුරකතන, මත්ද්‍රව්‍ය හිර ගෙදරට ගේන්නේ නිලධාරීන්. කීප දෙනක් අහු වෙලා සිරබත් කනවා. සමහරු රක්ෂිත බන්ධනාගාරවල. නිලධාරීන් ගෙවල් දොරවල් හදාගෙන වාහන අරගෙන ඉන්නෙ සිරකරුවන් නිසා.
* ඊෂි කෑෂ් දාන්න සල්ලි නැති දුප්පත් සිරකරුවන්ට නිලධාරි දෙවියන්ගේ බැල්ම නැහැ. ඔවුන් අසරණයි. මේ අයට පොඩ්ඩ වැරදුණොත් මව් සිහි කරල නැව් ගුටි. යහමින් මුදල් ඇති සිරකරුවන්ට සැප.
* සීආර්පී, මැගසින්, ගාල්ල, කෑගල්ල, මහර හිර ගෙවල් තදබදය නිසා උතුරනවා. හිරකාරයො නිදා ගන්නෙ turn එකට. පාර්ලිමේන්තුවේ 225 ට, මහේස්ත්‍රාත්වරුන්ට ඕනෑම දිනක හිර ගෙවල් ඇතුළට ගිහින් මේ ඛේදවාචකය නිරීක්ෂණය කරන්න පුළුවන්. ඉක්මනට ගියොත් අනිත් හිර ගෙවල් අතරින් ඊළඟ මීගමුව මතු වීම නතර කරන්න යමක් කරන්න පුළුවන් වේවි.
* හිර ගෙදර තදබදය අඩු කරන්න පොලිසියට, නීතිපති දෙපාර්ථමේන්තුව, ගරු අධිකරණයට ලෙහෙසියෙන්ම පුළුවන්. ඇප පනතේ 2 වැනි වගන්තියට ගරු කරන්න. ඒක කියන්නෙ “ඇප දීම රීතියයි, ඇප නොදීම ව්‍යතිරේඛීයයි” කියල. සරලව කිව්වොත් හැකි සෑම අවස්ථාවකම ඇප දෙන්න කියලයි නීතිය කියන්නෙ. හැබැයි විමර්ශන අවසන් නැහැ වගේ හේතු කියල බොහෝ අපරාධ නඩුවල පැමිණිල්ල අධිකරණයෙන් ඉල්ලන්නෙ ඇප ප්‍රතිත්ෂේප කරන්න කියල. ඉතින් හිර ගෙවල් පිරෙනවා.
* ආණ්ඩුවට තවම බැරි වුණා කුඩු නඩුවල රස පරීක්ෂක වාර්තා අවුරුද්දක් ප්‍රමාද වීම වළක්වන්න. කළ යුත්තේ රස පරීක්ෂක දෙපාර්ථමේන්තුවට අලුත් ගොඩනැගිල්ලක් එකතු කරල වැඩි පුර නිලධාරීන් බඳවගෙන, ලංකාවෙ නැති නම් ඉන්දියාවෙන් හරි ගෙන්වල වාර්තා කඩිනම් කරන්න. එතකොට අලුත් හිර ගෙවල් හදන්න ඕන නැහැ.
* පොලීසියට බොරු ටාගට් දෙන නිසා පාරෙ ඇවිදින තරුණයන්වත් බොරුවට කුඩුවලට අල්ලල ඇතුලට දානවා. ඒ වගේම ඇප නොදෙන 54 වගන්තියෙන් උසාවියට දානවා. පොලිස්පති මේ අපරාධය නැවැත්විය යුතුයි.
* ඔය හිර කරල තියෙන 44000 න් 30000 ක්ම ඇතුළට ආපු සැබෑ හේතුව දරිද්‍රතාව. නෝර්වේ, ස්වීඩන්, ඩෙන්මාත්, ෆින්ලන්තය වගේ රටවල සිර ගෙවල් වැහෙන්නත් අපේ හිර ගෙවල් පිරෙන්නත් හේතුව ඒකයි.
* ඉතින් වරද දුප්පත්කම නම් උත්තරය ඔවුන්ව හිර ගෙවල්වලට ගාල් කිරීමද? සමාජ සාධාරණත්වය ඇති රටක් හදන්න වෙර වීරිය ගැනීමද? ඔවුන්ට ආහාරවලට පමණක් රටේ බදු ගෙවන ජනතාව දිනකට කෝටි තුනකට වඩා වැය කරන බව ඔබ දන්නවාද? ඒකම අපරාධයක් නෙවෙයිද?
* අද මම දැක්ක වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට මිය ගිය නිලධාරින්ගෙ ඡායාරූප සහිත බැනර් එකක් එල්ලල ඔවුන්ට නිවන් සුව පතලා. හැබැයි ඝාතනය වුණ රැඳවියන්ට නිවන් සුව පතල එක හිර ගෙදරකවත් බැනර් නැහැ, ඒ ඇයි? ඔය මිය ගිය රැඳවියන් අතර බහුතරයක් සිද්ධියට කිසිම සම්බන්ධයක් නැති අය බව පසුව ඔබට දැන ගන්නට ලැබේවි.
* කවුරු හරි දන්න කෙනෙක් මට අවස්ථාවක් දෙන්න ජනාධිපති සහෝදරය මුන ගැහිල මේ ටික තේරුම් කරල දෙන්න.
* මේ ඇත්ත දන්නවා නම් එයා අහවල් කෙනා මුල් පුටුවෙ තියා ගන්න 22 ගේන්න දහං ගැට නොගහ පීඩිත පන්තියෙ දුක් විඳින රැඳවියන්ගේ ජීවිත සුවපත් කරන්න යමක් කරාවි.
* දුකයි, ඇඬෙනවා, දැනට නවතින්නම්!
– සිර අංක B 13815 අජිත් ප්‍රසන්න