රනිල් නැත්නම් ලංකාවත් බංග්ලාදේශය වගේ කැලෑ නීතිය රජයන රටක්…!

August 13, 2024 at 9:37 am | by emanisa.lk

බංග්ලාදේශයේ මෙන් නීතිය, සාමය හා ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කර කැලෑ නීතිය රජයන අති බිහිසුණු සමාජයක් ලංකාව තුළ ඇති කිරීමට අරගලකරුවන් එදා ගත් උත්සාහය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමඟ ව්‍යර්ථව ගිය බව නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

“අද බලන්න බංග්ලාදේශයේ වෙන දේ. ලංකාවේ වුණ දේම කොපියක් තමයි අද බංග්ලාදේශයේ වෙන්නේ. මුලින්ම ජනාධිපතිතුමාට ගැහුවා. ජනාධිපති මන්දිරය, ජනාධිපති කාර්යාලය නැති කළා. ඊට පස්සේ අගමැතිව එලෙව්වා. ඒ අය රටින් පැන්නා. ඒ දේ තමයි අද බංගලාදේශයේ වෙන්නේ.

වාසනාවකට එදා ඒ සිද්ධීන් දෙකම ලංකාවේ වෙන කොට ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයා රට භාර ගත්තා. අරගලකාරයින්ට පහර දීමකට යන්න බැරි වුණා. ලාල් කාන්ත ඒ කාලේ කියපු කතා රූපවාහිනියේ සමාජ මාධ්‍යවල පෙන්වනවා ඔබ දකිනවා ඇති. ඔහු කිව්වා අපි අරගලය කැඳෙව්වා, අපි මේකට ඇතුල්වෙන්න ගියා කියන කතා.

එදා පාර්ලිමේන්තුවත් අරගලකාරයින්ගේ අතට ගියා නම් මේ රටේ තත්ත්වය මොකක්ද කියලා හිතලා බලන්න. බංගලාදේශයට වුණේ පාර්ලිමේන්තුවටත් ගැහුවා ගිනි තිබ්බා. මහ බංකු අධිපතිවරයා අයින් වුණා. නැත්තම් ඔවුන්ගේ ගෙවල් ගිනි තියනවා කියලා ඔවුන්ට තර්ජනය කරලා. අද ඒ රටේ කැලෑ නීතිය ක්‍රියාත්මක වෙන්නේ. මේකම තමයි ලංකාවෙත් වෙන්න තිබ්බේ.

අද සියලු දෙනාටම එකතු වී වැඩ කරන්න පුළුවන් ක්‍රමයක් නිර්මාණය කරලා දුන්නා. අපේ යුතුකමක් වගකීමක් තියෙනවා. කළගුණ දන්නා මිනිස්සු විදියට මේකට අපි උදව් කරන්න. බංග්ලාදේශය කියන්නේ අපේ රටේ ආර්ථිකය කඩන් වැටුණාට පස්සේ අපිට ණය දුන්න රටක්. ඒ රට අද විනාශ වෙනකොට අපේ රටේ ආර්ථිකය ක්‍රමාණුකූලව ශක්තිමත් වෙනවා. ඩොලර් එක ස්ථාවර වෙලා කටයුතු කරගෙන යනවා. මොකද මේ රටේ ජනතාව තීන්දු කරලා ඉවරයි.”

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව කියා සිටියේ බියගම ආසනයේ ජනාධිපතිවරණ ඒකාබද්ධ කමිටු පිහිටුවීමේ සාකච්ඡාවට 11 දින එක්වෙමිණි.

මෙම අවස්ථාවට වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති සහන් ප්‍රදීප් විතාන, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන මිලාන් ජයතිලක, කෝකිලා ගුණවර්ධන, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන යන මහත්වරු හා පළාත් පාලන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *