හමුදාවෙන් 25 000ක් පනී.. පිරිසක් පාතාළයේ වැඩ… මුදාගන්න මෙහෙයුම්…!

April 21, 2024 at 11:15 am | by emanisa.lk

වසර පහක කාලයක් තුළ 25,000කට ආසන්න සංඛ්‍යාවක් යුද්ධ හමුදා සේවයට වාර්තා නොකර හමුදාව අතහැර ගොස් ඇති බව යුද්ධ හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

සංවිධානාත්මක අපරාධකරුවන් විසින් පසුගිය කාලයේ බස්නාහිර සහ දකුණු පළාත තුළ මිනිස් ඝාතන සඳහා තුවක්කුකරුවන් සහ යතුරුපැදිකරුවන් ලෙස යොදාගෙන ඇති බහුතරයක් මෙලෙස යුද්ධ හමුදා සේවයට වාර්තා කර නොසිටි පුද්ගලයන් බවත් මේ අතර වාර්තා වේ.

කෙසේ වෙතත් යුද්ධ හමුදා නිලධාරීන් සහ භටයන් පාතාලයට සම්බන්ධ වීම සහ ඒවායේ ඇති ආදීනව සම්බන්ධයෙන් යුද්ධ හමුදාවේ සියලු නිලධාරීන් දැනුම්වත් කිරීමේ දේශන මේ වන විට යුද්ධ හමුදා පොලිසිය විසින් අරඹා තිබේ.

හමුදාවෙන් පැනගිය පිරිස් විවිධ අපරාධවලට සම්බන්ධ වීමේ නැඹුරුව වැඩි වීමත් සමග මෙම දේශන මාලාව අරඹා ඇති අතර මීට අමතරව මනෝවිද්‍යා මෙහෙයුම් සහ උපදේශන වැඩසටහන් ආරක්ෂක සේනා මූලස්ථාන මට්ටමින් සතිපතා පැවැත්වීමටත් යුද්ධ හමුදාපතිවරයා පියවර ගෙන ඇත.

මේ අතර යුද හමුදාවෙන් පළා යාම වැළැක්වීම සඳහා නව පියවර රැසක් ද ගෙන ඇති අතර සලාක දීමනා වැඩි කිරීම එහි එක් පියවරක් බවද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

රජය විසින් ලබාදුන් එම පියවර සමඟ යුද හමුදාවෙන් පලායන සංඛ්‍යාවේ අඩු වීමක් දක්නට ඇති බවද සඳහන්ය. යුද හමුදා රැකියාවේ වටිනාකම, වැටුප්, සේවය අතහැර යෑමෙන් ඇති වන ආර්ථික අපහසුතා සම්බන්ධයෙන් යුද හමුදා පිරිස් දැනුම්වත් කෙරෙන බව ද යුද හමුදා ආරංචි මාර්ග පෙන්වා දෙයි.

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින යුද්ධ හමුදා සාමාජිකයන්ට නීත්‍යනුකූලව යුද හමුදා සේවයෙන් ඉවත්ව වෙනත් රැකියාවලට සම්බන්ධ වීමේ ඇති හැකියාව සලසා දීම සඳහා අප්‍රේල් මස 20දා සිට මැයි 20දා දක්වා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කිරීම මෙම පියවරේ තවත් කොටසකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *