අනුර – රනිල් කියන්නේ දේශපාලන ඩීල් එකක්…! – හර්ෂණ රාජකරුණා…

March 7, 2024 at 10:45 am | by emanisa.lk

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ ජනතා විමුත්ති පෙරමුණ එකට ගනුදෙනු කරන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසයි.

“ජනතාවගේ ජීවනබර වැඩිවීමට ඉන්ධන මිල වැඩිවීම, විදුලිබිල වැඩිවීම, ජලබිල වැඩිවීම ප්‍රධාන ලෙස බලපාලා තිබෙනවා. මේවා වැඩිවෙනවාත් සමඟම රටේ අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල ගණන්ද වැඩි වෙනවා.

රජය සියයට 300 කින් විදුලිබිල වැඩිකරලා සියයට 20 ක් වගේ ඉතාම අඩු ප්‍රතිශතයකින් විදුලි බිල අඩුකරලා තිබෙනවා. විදුලිය කියන්නේ සුඛෝපභෝගි සේවාවක් නෙවෙයි. විදුලිය කියන්නේ සාමාන්‍ය දෙයක්. ලාභ ලබන ආයතන පෞද්ගලීකරණය කරන්නේ රජයේ ගජමිතුරන්ට වාසි වන ආකාරයට. මේ සියලු දේවල් සිදුවන්නේ කිසිදු විනිවිධභාවයකින් නෙවෙයි.

රට බංකොලොත් කිරිම සඳහා මූලික වුණ පිරිස කවුරුද්ද කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදීලා තිබෙනවා. ඒ ආර්ථික ඝාතකයින්ව පිළිගන්න උත්සව පවත්වන තත්ත්වයට රට අද පත්වෙලා තිබෙන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරුවෙකු ලෙස නම් කළ බැසිල් රාජපක්ෂ පිළිගන්න පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරු ගුවන් තොටුපලට ගිහින් තිබෙනවා.

ඒ බැසිල් රාජපක්ෂ තමයි පාක්ෂිකයෝ සියලු දෙනා අනාථ කරලා 2015 දී රටින් පැන්නේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වැල් පාලමෙන් රාජපක්ෂ පවුලම එගොඩ කළා. ඒ එගොඩ කරපු එක් පුද්ගලයෙක් තමයි බැසිල් රාජපක්ෂ. ඔහු ඇවිත් තියෙන්නේ රට හදන්න කියලා කියනවා. මෙවැනි දේවල්වලට ජනතාව තවදුරටත් රැවටෙන්නේ නෑ. රනිල් රාජපක්ෂ ආණ්ඩුව ජනතාව අද වනවිට ප්‍රතික්ෂේප කරලා ඉවරයි. වික්‍රමසිංහ ජනාධිපතිවරයා රාජපක්ෂවරු සමඟ එකතුවෙලා රට අගාධයකට ඇද දමා තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ සහ ජනතා විමුත්ති පෙරමුණ ගනුදෙනු කරන්නේ එකට. ජනතා විමුත්ති පෙරමුණ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව තමයි කටයුතු කරන්නේ. වේදිකාවල මඩ ගහ ගත්තාට රනිල් වික්‍රමසිංහ සහ ජනතා විමුත්ති පෙරමුණ එකට අත්වැල් බැඳගෙන ඉන්නේ. රනිල් වික්‍රමසිංහ සහ ජනතා විමුත්ති පෙරමුණ අතර පැහැදිලි දේශපාලන ඩීල් එකක් තිබෙනවා. අනුර – රනිල් කියන්නේ දේශපාලන ඩීල් එකක්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *